/ Aug 12, 2026

ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා කැනේඩියානු රජයේ පූර්ණ සහය!

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (Mrs. Isabelle Martin) සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල අතර විශේෂ නිල හමුවක් ඊයේ (18) පස්වරුවේ එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දූෂණයෙන් තොර පාලන සංස්කෘතියක් ඇති කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති ප්‍රගතිශීලී පියවර පිළිබඳව මහ කොමසාරිස්වරිය එහිදී සිය ප්‍රශංසාව පළ කළාය. එමෙන්ම දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද වාතාවරණය වැනි අර්බුද හමුවේ වුවද, ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ද ඇයගේ ඇගයීමට ලක් විය.

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන පිළිබඳව අමාත්‍ය උපාලි පන්නිල මෙහිදී මහ කොමසාරිස්වරිය දැනුවත් කළ අතර, ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සහ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ක්‍රියාවලියේදී කැනේඩියානු රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ඇය සඳහන් කළාය.

එමෙන්ම වැඩිහිටි පුද්ගලයන් සහ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම කෙරෙහි දෙපාර්ශ්වයේම අවධානය යොමු වූ අතර, ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ද මහ කොමසාරිස්වරිය එකඟතාව පළ කළාය.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් සහ අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top