/ Jun 19, 2026

ගාල්ල රිච්මන්ඩ් 150 සපුරයි – සංවත්සර පා ගමන අද!

ගාල්ල රිච්මන්ඩි විද්‍යාලයීය 150 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධායනය කළ පා ගමන අද (19) පස්වරු 2.00ට විද්‍යාලය අසලින් ඇරඹේ.

රිච්මන්ඩ් විදුහල්පති ප්‍රභාත් විතානගේ ඇතුළු සිසුන් ද ගුරු මණ්ඩලය, ආදිසිසුන් ඇතුඵ පන්දහසකගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ පාගමනේ ගමාන්තය වන්නේ ගාල්ල සමනල ක්‍රීඩාංගනයයි.

අධ්‍යාපන ප්‍රදර්ශන ,සැණකෙළි, දකුණු පළාතේ දුෂ්කර පාසැල් 150 පුස්තකාලවලට පොත් කට්ටල බෙදා දීම, තූර්ය වාදන සංදර්ශන, විද්‍යාලයීය ආදි කර්තෘ ජෝජ් බෝ දේවගැති තුමාගේ පිළිරුවක් නිරාවරණය කිරීම ඇතුළු වැඩසටහන් 33ක් සංවත්සරය වෙනුවෙන් සංවිධායනය කර ඇත.

සංවත්සරය සිහි කරමින් ඉදි කළ ගොඩනැල්ල 2027 ජනවාරියේ විවෘත කරමින් සමරුව නිමාවට පත්වේ.

මේ වැඩසටහන් අතර සුවිශේෂ අංගයක් වන්නේ නොවැම්බර් 14දා කොළඹ ශැංග්‍රීලා හෝටලයේ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහය හා රුපියල් ලක්ෂ පහක් වටිනා රනින් කළ සමරු කාසිය ජනගත කිරීමය. මින් ලැබෙන ආදායම 150 සමරු ගොඩනැල්ලට හා ඉදිරි වසර පනහේ විද්‍යාලයේ අභිවෘද්ධිය පිණිස ස්ථාවර තැන්පතුවක් ලෙස පවත්වාගෙන යාමට තිරණය කර ඇති බව රිච්මන්ඩ් විද්‍යාලයීය 150 වැනි සංවත්සර කමිටුවේ සභාපති අනිල් ෆොන්සේකා පැවසිය.

ඔහු මේ බව පැවසුවේ රිච්මන්ඩ් 150 සැමරුම නිමිත්තෙන් කොළඹ 7, නිදහස් මාවතේ ජාතික ඔලිම්පික් කමිටු මුලස්ථාන ශ්‍රවණාගාරයේ ඉකුත්දා පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවේදීය.

රිච්මන්ඩි විදුහල්පති ප්‍රභාත් විතානගේ, ආදි ශිෂ්‍ය සංගමයේ අනුශාසක හා හිටපු විදුහල්පති බී සුරියආරචිචි, උප අනුශාසකවරු වන හිටපු ඇමැති ආචාර්ය හේමකුමාර නානයක්කාර, මහජන බැංකුවේ හිටපු සභාපති වරලත් ගණකාධිකාරී සූජීව රාජපක්ෂ, ලේකම් නීතිඥ ශ්‍රිමාල් විජේසේකර පාසල් සංවර්ධන කමිටුවේ සභාපති උදාර අලස් ද මෙහිදී අදහස් දැක්වුහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top