අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමගි ජන බලවේගය හොරණ සංවිධායක චරිත් අබේසිංහට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂනායකයා පැවසුවේ වැරදිකරුවන්ට හෝ අපරාධකරුවන්ට සමගි ජනබලවේගය තුළ ‘ඉඩක්‘ නොමැති බවයි.
“අපි අනිවාර්යෙන්ම විනය පරීක්ෂණයක් පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා.අපේ පක්ෂයේ වැරදිකරුවන්ට, අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක්, තැනක් නැහැ,” යනුවෙන් සජිත් ප්‍රේමදාස සඳහන් කරන ලදී.
හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රක්ඛිත රාජපක්ෂ, සමගි ජනබලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ හිටපු ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ අධ්‍යක්ෂ අරුණ ශ්‍රී චතුරංග යන අය අද පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ, රුපියල් ලක්ෂ 5000ක අල්ලසක් ඉල්ලා ඉන් අත්තිකාරමක් වශයෙන් රුපියල් ලක්ෂ 1200ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාව යටතේය.






