/ Jul 08, 2026

මීගමුවෙන් මාරු කරන ලද රැඳවියන්ට අයහපත් සැලකිලි එපා : මානව හිමිකම් කොමිසමෙන් ලිපියක්!

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධ කරුණු සේ ම තමන් වෙත ඇති බලතල සම්බන්ධයෙන් ද පැහැදිලි කරමින් එම කොමිසම වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහිදී කොමිසම පෙන්වා දෙන්නේ, 2020 දී ප්‍රකාශයට පත් කරන ලද ‘ බන්ධනාගාර අධ්‍යයනය ‘ තුළදී පද්ධතිමය ‘ අඩු පාඩු’ මෙන්ම ‘ සම්පත් සහ කාර්ය මණ්ඩලයේ දැඩි හිඟය’ නිසා ‘බන්ධනාගාර තුල සිරකරුවන්ට ඉතා අවධානම් සහිත පරිසරයක්’ බවට පත්ව ඇති බව කොමිෂන් සභාව නිරීක්ෂණය කළ බවයි. බන්ධනාගාර තුළ වධහිංසා පැමිණවීම් සහ වෙනත් ආකාරයේ අයහපත් සැලකිලි වලට ලක්වන රැඳවියන් සහ එවැනි උල්ලංඝනයන් සම්බන්ධව වග වීමක් නොමැතිකම සම්බන්ධයෙන් වු සොයා ගැනීම් ද මෙම අධ්‍යයනයට ඇතුළත් වූ බවත් කොමිසම එම ලිපියෙන් පෙන්වා දෙයි.

බන්ධනාගාර තුළ සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක්‍රියාපටිපාටි සහ යාන්ත්‍රණයන් කොමිසම නිර්දේශ කර තිබේ. ඒවා පහත පරිදි ය.

  1. සිරගත කිරීමට පෙර වධහිංසාවන්ට ලක්වීම පිළිබඳ පැමිණිලි කරන සිරකරුවන් පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටීම සහ ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම සහ අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සහ එකී හිංසාවන්ට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම, ඒ මගින් එවැනි ප්‍රචණ්ඩත්වයෙන් සිදුවන මරණ වළක්වා ගැනීම.
  2. ප්‍රතිවාදී සිරකරුවන් අතර ඇතිවන හිංසනයන් අවම කිරීමෙන් සහ සිරකරුවන්ට කරන ර්තජන හේතුවෙන් වාට්ටු වෙනස් කිරීම සදහා ඉල්ලා සිටියහොත් ඒ සදහා පරික්ෂා කර අවසර දීමෙන් රැඳවියන් අතර ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පියවර ගැනීම හා එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම.
  3. අපරාධ චක්‍රලේඛ 19/2014 (IG චක්‍රලේඛ 2508/2014) අනුව බන්ධනාගාරයට රහස්‍ය වාතාවක් මගින් ලබා දෙන සිරකරුගේ පසුබිම පිළිබඳ තොරතුරු පිළිපැදීමෙන් අනෙකුත් සංවිධානාත්මක අපරාධ කල්ලිවල සහ ප්‍රතිවාදීන්ගේ සාමාජිකත්වය ඇතුළුව සිරකරුවන් ඵලදායී ලෙස වෙන් කර ඇති බව සහතික කිරීම.
  4. 1956 දෙපාර්තමේන්තු ස්ථාවර නියෝගවල 15 වන වගන්තියට අනුව, අයුතු සැලකිලි, පහරදීම් හෝ වෙනත් අක්‍රමිකතා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම සඳහා බලය සහ සීමා කිරීමේ උපකරණය භාවිතා කිරීම පිළිබඳ නීතිමය සීමාවන් පිළිබදව බන්ධනාගාර නිලධාරින් හා බන්ධනාගාර අධිකාරි දැනුවත් කිරීම.
  5. ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මරණයක් සිදු වුවහොත් වගකිව යුතු පාර්ශවයන් හඳුනා ගැනීම සඳහා මියගිය අයගේ වාට්ටු මාරු කිරීමේ වාර්තා පවත්වා ගැනීම.

මීගමුව බන්ධනාගාරයේ පැවැති තත්වය හේතුවෙන් ඒ වෙත ප්‍රවේශවීමට කොමිසමේ නිලධාරීන්ට නොහැකි වුවත්, රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියන් සම්බන්ධයෙන් සොයා බැලූ බව ද ලිපියේ සඳහන් වේ.

ඒ අතර මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කරන ලද රැඳවියන් වෙත අයහපත් සැලකිලි දක්වන බවට කොමිසමට තොරතුරු ලැබුණු බවත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු මරණයට පත් වූ බවට තොරතුරු ලැබුණු බැවින් ඒ වෙත ගොස් කරුණු සොයා බැලීමට තම නිලධාරීන් කණ්ඩායමක් ගියද වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වයා එම කණ්ඩායමට බන්ධනාගාරය වෙත ඇතුළු වීමට අවසර නොදුන් බවත් ලිපියේ සඳහන් වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පණතේ බලතල ප්‍රකාරව ඕනෑම අවස්ථාවක, ඕනෑම රැඳවුම් ස්ථානයකට, පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ අධිකරණ නියෝගයක් මගින් හෝ වෙනත් ආකාරයකින් යම් තැනැත්තෙකු රඳවා තබා ඇති ස්ථානයකට ඇතුළු වී එහි සිටින පුද්ගලයින්ගේ රඳවා තබා ගැනීමේ තත්ත්වය තහවුරු කර ගැනීමට අවශ්‍ය විය හැකි ඕනෑම පරීක්ෂණයක් ඒ ස්ථානයෙහි කළ හැකි බවත් නැතහොත් එහි සිටින යම් තැනැත්තෙකුගෙන් විමසීම් කළ හැකි බවත් මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.

තවද මෙම ලිපිය මගින් සම්පූර්ණයෙන් සහ ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතු නියමන් කිහිපයක් නිකුත් කළ යුතු බවට මානව හිමිකම් කොමිෂම අපේක්ෂා කරන බවද දක්වා තිබේ. ඒවා පහත පරිදි ය.

  1. ඕනෑම අවස්ථාවක එවැනි රැදවීයන් පරික්ෂා කිරීමට පැමිණෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්‌ය මණ්ඩල සාමාජිකයින්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම සඳහා කටයුතු කළ යුතු බවට සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් සහ ප්‍රධාන ජේලර්වරුන් ඇතුළු සියලුම බන්ධනාගාර නිලධාරීන්ට ලිඛිතඋපදෙස් නිකුත් කළ යුතුයි.
  2. මීගමුව බන්ධනාගාරයෙන් මෑතකදී මාරු කරන ලද සිරකරුවන් ඇතුළුව, ඔවුන්ගේ භාරයේ සිටින ඕනෑම සිරකරුවෙකුට එරෙහිව වධහිංසා පැමිණවීම හෝ වෙනත් ආකාරයේ අයහපත් සැලකිලි ඇතුළුව ඕනෑම පළිගැනීමේ ආදී ක්‍රියාවකින් වැළකී සිටින ලෙස සියලුම බන්ධනාගාර නිලධාරීන්ට ලිඛිත උපදෙස් නිකුත් කිරීම.
  3. මීගමුව, අඟුණකොළපැලැස්ස, බූස්ස, යාපනය, දුම්බර, මඩකලපුව සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් කෙරෙහි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සියලු සාක්ෂි සංරක්ෂණය කිරීමට සහ එවැනි සාක්ෂි විනාශ කිරීමෙන් හෝ විකෘති කිරීමෙන් වැළකී සිටීමට සියලුම බන්ධනාගාර නිලධාරීන්ට ලිඛිතඋපදෙස් නිකුත් කිරීම.
  4. අඟුණකොළපැලැස්ස, බූස්ස, යාපනය, දුම්බර, මඩකලපුව සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් වධහිංසා පැමිණවීම හෝ වෙනත් ආකාරයේ අයහපත් සැලකිලිවලට ලක් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම, එවැනි ක්‍රියාවන්හි නිරත වූ බවට හෝ එවැනි ක්‍රියාවන් වැළැක්වීමට අපොහොසත් වූ බවට සොයා ගන්නා ලද ඕනෑම නිලධාරියෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සහ එවැනි විමර්ශනය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් HRCSL වෙතලබා දීම.
  5. මීගමුව බන්ධනාගාරයේ ප්‍රචණ්ඩත්වය සහ ඉන් පසුව අනෙකුත් බන්ධනාගාර වල ඇති වු සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වත්මන් විර්මශනයට පූර්ණ සහයෝගය ලබා දීම.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top