වත්මන් ආණ්ඩුව බලයෙන් උන්මත්තක වී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (30) දින කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
”දැන් ඔය වර්තමාන ගරු අග්‍රවිනිශ්චයකාරතුමගේ වයස දීර්ඝ කරනවා කියන සාකච්ඡාව ගේන්නේ ආණ්ඩුවනේ. මොකද ආණ්ඩුවේ බලාපොරොත්තුව ඒක වෙන්න පුළුවන්. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනව කටයුතු කරන්න ඕනේ සහ දේශපාලන මැදිහත්වීම් වලින් තොර වෙන්න ඕනේ. අද පැහැදිලිවම ආණ්ඩුව මේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය කෙරෙහි විශාල බලපෑමක් කරන්න උත්සාහ කරනවා. ඒක ආණ්ඩුවේ පාර්ලිමේන්තුව තුළ, පිටත ප්‍රකාශ වලින් පවා පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි පොලීසිය මෙහෙයවන ආකාරය. අද ශ්‍රී ලංකා පොලීසිය නිකන් ජේවීපී පොලීසිය බවට පත් වෙලා තියෙනවනේ. මොකද පොලීසිය විසින් දක්වන කරුණු මත තමයි ගරු විනිශ්චයකාරවරු තමන්ගේ තීන්දු තීරණ ගන්නේ. සාක්ෂි මෙහෙයවන්නේ. හැබැයි ඉතින් පොලීසිය සම්පූර්ණයෙන්ම පැලවත්තේ පොලීසිය බවට පත් වෙනවා නම්, ඉතින් ඒ තුළ පොලීසියේ ස්වාධීනත්වයකුත් නෑ, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා වෙන්නෙත් නෑ. ඉතින් ආණ්ඩුවත් තේරුම් ගන්න ඕනේ දැන් අර පිස්සුව හොඳටම තද වෙනකොට උඩට නැග්ග ගමන් ගැඹුර පේන්නේ නෑ. ඉතින් පැනලා බලනවා. අතපය කඩාගන්නවා, විනාශ වෙලා යනවා. ඉතින් දැන් ආණ්ඩුවේ පිස්සුව හොඳටම තද වෙලා තියෙන්නේ. බලයෙන් උන්මත්තකවෙලා තියෙන්නේ. 159, ගරු ජනාධිපතිවරයාගේ බලතල, මේ සියල්ලම දරාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ හින්දා දැන් උඩ නැගලා ඉන්නේ. බිමේ ගැඹුර දන්නේ නෑ. ඉතින් පැනලා බලනවා. පැනලා බලපුවාම තමයි ආණ්ඩුවටත් තේරෙන්නේ කොච්චර ගැඹුරකද පැනලා තියෙන්නේ කියලා. ඉතින් ආණ්ඩුව කැමති නම් පනින්න, පැනලා බලන්න කොතනින්ද නතර වෙන්නේ කියලා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.






