හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන එළැඹෙන 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.
අද පෙරවරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග ලැබුණි.
2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.
ඒ අනුව හිටපු ජනාධිපතිගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ රුපියල් දහනව ලක්ෂ තිස්තුන්දහස් හැටපහක මුදලකුත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රුපියල් හතලිස් දෙලක්ෂ විසිහයදහස් අටසීය අසූ හතරයි සත පනස් නවයක් අවභාවිත කර ඇති බව චෝදනා එල්ල වී තිබේ.
සුගීෂ්වර බණ්ඩාර ඉහත තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිතා කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටින බව සඳහන්.






