/ Aug 13, 2026

විදෙස්ගතව සැඟවී සිටින සැකකරුවන් 93ක් අල්ලන්න රතු වරෙන්තු නිකුත් කරයි!

විදෙස් රටවල සැඟවී සිටින, මෙරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අද (13) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

2024, 2025 සහ මෙම වසරේ ගතවූ කාලය තුළ මෙම රතු නිවේදන ඔස්සේ සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර
ඊට අමතරව, පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම මත තවත් ප්‍රමුඛ පෙළේ නමගිය අපරාධකරුවන් 35 දෙනෙකු මෙරටට රැගෙන ඒමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය.

මෙලෙස මෙරටට ගෙන්වා ගන්නා ලද සැකකරුවන් විසින් නීති විරෝධී ලෙස උපයාගත් වාහන, නිවාස, රත්‍රන් සහ ඉඩම් ඇතුළු විශාල දේපොළ ප්‍රමාණයක් රාජසන්තක කිරීමේ විශේෂ වැඩසටහනක්ද මේ වනවිට ක්‍රියාත්මකයි.

ඒ අනුව 2024 වසරේදී රුපියල් මිලියන 1,490ක දේපොළ සහ 2025 වසරේදී රුපියල් මිලියන 1,549ක දේපොළ රජයට පවරාගැනීමේ මූලික පියවර ලෙස එම දේපොළ අක්‍රිය කිරීමට පියවර ගෙන ඇති අතර 2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 839ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජය සතු කරගැනීම සඳහා වන මූලික නීතිමය ප්‍රවේශයන්ද මේ වන විටත් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top