/ Aug 31, 2026

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් සමඟ පොලිස් උපදෙස් !

මහජනතාවගේ සාමකාමී ජීවිතයට, දෛනික කටයුතුවලට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක්, පීඩාවක් හෝ හිංසාවක් ඇතිවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ භාවිත නොකරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නියෝග මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් වරින් වර නිකුත් කරනු ලබන උපදෙස් හා දැනුවත් කිරීම් අනුව කටයුතු කළ යුතු බවද පොලිසිය අවධාරණය කරයි.

පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදන යටතේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ශබ්දය වැඩි කිරීම සඳහා භාවිත කරන වෙනත් උපකරණ භාවිතයට අවසර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, සාමාන්‍යයෙන් රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබා නොදිය යුතු බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත්, ආගමික කටයුතු හෝ විශේෂ අවස්ථා සම්බන්ධයෙන් අදාළ කරුණු සලකා බලා නීතියට අනුකූලව අවසර ලබාදිය හැකිය.

අදාළ බලපත්‍රයක් නිකුත් කර ඇති අවස්ථාවකදී, එහි සඳහන් දිනය, වේලාව සහ අනෙකුත් සියලුම කොන්දේසිවලට දැඩිව අනුගත විය යුතු බවද පොලිසිය අවධාරණය කරයි.

අදාළ පොලිස් අවසරය ලබාගෙන ඇති අවස්ථාවකදී, අවසර පත්‍රයේ සඳහන් කොන්දේසිවලට යටත්ව පහත කාල සීමාවන් තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදී තිබිය හැකිය.

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10.00 දක්වාද, සිකුරාදා සහ සෙනසුරාදා අලුයම 1.00 දක්වාද, ඉරිදා අලුයම 12.30 දක්වාද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදී ඇති අවස්ථා තිබිය හැකිය.

කෙසේ වෙතත්, මෙම වේලාවන් බලපත්‍රලාභීන්ට ස්වයංක්‍රීයව හිමිවන අයිතියක් නොවන බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි.

එමෙන්ම, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැක්කේ අදාළ අවස්ථාව සඳහා පොලිසිය විසින් නිකුත් කර ඇති බලපත්‍රයේ සඳහන් කොන්දේසි සහ අවසරයට යටත්ව පමණක් බවද පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top