චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 18 වන BRICS සමුළුව අතරතුරදී ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ඊයේ (12) හමුවී තිබේ.
චීනය සහ ඉන්දියාව හවුල්කරුවන් විය යුතු බවට හමුව අතරතුර එකඟතාවකට පැමිණ තිබේ.
චීනය සැමවිටම ඉන්දියාව සමඟ පවතින සබඳතා උපායමාර්ගිකව සහ දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් යුතුව ගොඩනගන බව චීන ජනාධිපති ෂී එහිදී පෙන්වා දී ඇත.
පසුගිය වසර දෙක තුළ තමන් අග්‍රාමාත්‍ය මෝදි මහතා දෙවරක් හමුවී ඇති බවත් එමගින් ද්විපාර්ශ්වික තවදුරටත් දියුණු කිරීමේ මාවතට යොමු කිරීමට හැකිවූ බවත් සඳහන් කර තිබේ.
චීන – ඉන්දීය සබඳතාවල ස්ථාවර සහ අඛණ්ඩ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජනාධිපති ෂී කරුණු 4 ක් ද මෙහිදී ඉදිරිපත් කළේය.
BRICS සමුළුවේ මෝදි – ෂී හමුව අතරතුර චීන ජනාධිතිවරයා තවදුරටත් මෙසේද පැවැසීය.
‘අපේ ද්විපාර්ශ්වික වෙළෙඳ පරිමාව නව ඉහළම අගයකට ළඟා වී තිබෙනවා. මෙම තත්ත්වය පහසුවෙන් උදා වූවක් නොවන බැවින් එය අගය කළ යුතුමයි. චීනය සහ ඉන්දියාව සතුව වෙනස් ජාතික යථාර්ථයන් පවතින්නේ. අපි එකිනෙකාගේ ශක්තීන්ගෙන් ප්‍රයෝජන ගත යුතුයි. එකිනෙකාට සහාය වෙමින් සාර්ථකත්වයට උදව් දෙමින් ඒකාබද්ධව සංවර්ධනය විය යුතුයි. වෙනස් වෙමින් පවතින සහ අස්ථාවර ජාත්‍යන්තර පසුබිම හමුවේ, ලොව වැඩිම ජනගහනයක් සහිත රටවල් දෙක වගේම ‘ගෝලීය දකුණේ’ (Global South) වැදගත් සාමාජිකයින් ලෙසත් රටවල් දෙකටම වැදගත් වගකීම් පැවරී තිබෙනවා. දෙපාර්ශ්වයම මානව වර්ගයාගේ අනාගතය සහ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳව අවධානය යොමු කරන්නට අවශ්‍යයයි. පුළුල් BRICS සහයෝගීතාව තුළ උසස් තත්ත්වයේ සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීමට අපි එක්ව කටයුතු කළ යුතුයි.’
- සචිත්ර පෙර්රා






