අද උදේම අහන්න ලැබුන පුවතක් නිසා දරුවන්ට සිදුවෙන අනතුරු ගැන ලියන්න හිතුවා. ඒ සිද්ධියෙන් කියවුනේ වවුනියාව ප්‍රදේශයේදී ටිපර් රථයකට යටවීමෙන් වයස අවුරුදු එක හමාරක දරුවෙක් ජීවිතක්ෂයට පත්වීමක් ගැන. දරුවාගේ පියා රථය පසුපසට ධාවනය කරද්දී ටිපර් රථය පිටුපස සෙල්ලම් කරමින් සිටි දරුවා එයට යටවී තිබුණා. සතියක් ඇතුලත මෙවැනි සිදුවීමක් අසන්නට සිදුවුණදෙවෙනි අවස්ථාව මේ. දින දෙකකට කලින් මේ වගේම තවත් සිදුවීමක් අසන්නට ලැබුණා.
මේ විදියට දරුවන්ට සිදුවන අනතුරු ගැන කතාකිරීම ඉතාම පුළුල් පරාසයක විහිදෙන මාතෘකාවක්. මාර්ග අනතුරු, ඇදවැටීම්, පිළිස්සීමට ලක්වීම්, වස විස ශරීරගතවීම්, තුවාල සිදුවීම් වගේ වැඩිහිටියන්ට සිදුවන සියලුම ආකාරයේ අනතුරු දරුවන්ටත් සිදුවෙනවා. නමුත් දරුවන්ට සිදුවන අනතුරුවල විශේෂය වන්නේ මේ බොහොමයක් අනතුරු වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසාම සිදුවීම. අනෙත් කාරණය වන්නේ යම් අනතුරක් සිදුවීම වලක්වා ගැනීමට වැඩිහිටියෙකුට මෙන් දරුවෙකුට හැකියාවක් හෝ දැනුවත් භාවයක් නොමැතිවීම. (vulnerability) දරුවකුගේ මේ හැකියාවන් වැඩිදියුණු වන්නේ ඔවුන්ගේ වයසත් සමඟින්. ඒ නිසාම සුරක්ෂිත පරිසරයක ජීවත්වීම සෑම දරුවෙකුටම ඇති අයිතියක්.
හෙදියක් විදියට ලංකාවේ ගතකල කාලයේදී දරුවන්ට සිදුවන මේ විදියේ අනතුරු ඉතාම විශාල ප්‍රමාණයක් මා දැක තියෙනවා. මේ අතරින් එක සිදුවීමක් බොහෝ අවාසනාවන්ත එකක්. කිසිවකු මේ ආකාරයට දරුවෙකුට හානියක් වෙතැයි නොසිතන විදියේ සිදුවීමක්. එක් දිනක සවසක වයස අවුරුදු එක හමාරක පමණ දරුවකූ හදිසි ප්‍රතිකාර ඒකකයට මව්පියන් විසින් රැගෙන එනවා. රෝහලට ගෙන එන විටත් දරුවා සිහිමඳ තත්ත්වයෙන් පසුවන්නේ. දරුවාගේ ස්වසන ක්‍රියාවලිය නිසි පරිදි සිදුනොවන නිසා කෘතිම ස්වසනය ලබාදීමට සිදුවෙනවා. මේ සඳහා නිර්වින්දක වෛද්යවරයා විසින් දරුවාගේ ස්වසන මාර්ගයට බටයක් ඇතුලු කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී දරුවාගේ ස්වසන මාර්ගයේ හිරවුනු උගුරැස්ස ගෙඩියක් වෛද්යවරයාට දකින්නට ලැබෙනවා. පසුව එය ඉවත්කර දරුවාට කෘතිම ස්වසනය ලබාදෙන්න සිදුවෙනවා. නමුත් මේ වනවිටත් දරුවාගේ මොළයේ සෛල, ඔක්සිජන් හිඟකමින් මියගොස් අවසන්. දින කීපයක් කෘතිම ස්වසන අධාරක මඟින් ජීවත්වන දරුවා ඉතාම අවාසනාවන්ත ලෙස මියයනවා. දරුවාගේ මවගේ නැගණිය මව නිවසේ නොමැති අතරේ දරුවාගේ ඇඳමත තබාගෙන උගුරැස්ස පිරවූ භාජනයකින් හොඳ හා නරක ලෙස උගුරැස්ස වෙන්කල බව පසුව අනාවරණය වෙනවා. මේ වයසේ දරුවන් තම අතට හසුවන සියල්ල කට තුලට දමා ගැනීම සිදුවෙනවා. මේ දරුවාද ඒ ආකාරයටම උගුරැස්ස ගෙඩිය තම මුවට දමාගත්තත් වැඩිහිටි කාන්තාව එය දැක තිබුණේ නැහැ. ඒ නිසා දරුවාට ජීවිතය අහිමි වෙනවා.
මේ ආකාරයට වැඩිහිටියන්ගේ නොසලකිල්ල නිසා ඉතා දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබූ දරුවන්, වසවිස හෝ වැඩිහිටියන්ගේ බෙහෙත් ශරීරගතවූ දරුවන්, ඉදිකෙරෙමින් පවතින නිවාසවල අනාරක්ෂිත බව හේතුවෙන් ඇදවැටීම් වලට ලක්වූ දරුවන් ආදී ලෙස විවිධ අනතුරු නිසා ලංකාවේ රෝහල්වලට දිනපතා ඇතුළත් කරනු ලබනවා. මේ බොහෝ අනතුරු නිසි ආරක්ෂිත පරිසරයක දරුවන් ඇතිදැඩි කිරීම හා දෙමාපිය වැඩිහිටියන්ගේ සැලකිලිමත් වීමෙන් වලක්වා ගත හැකියි.
එක්සත් රාජධානියේ දරුවන්ගේ ආරක්ෂාව ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. දරුවෙකු යම් අනතුරක් නිසා රෝහල්ගත කලවිට එම අනතුරට හේතුව දෙමාපියන්ගේ නොසැලකිලිමත්බව යයි සෞඛ්‍යය සේවකයන්ට වැටහුණහොත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍යය සේවකයන් බැඳී සිටිනවා. ඇතැම් අවස්ථාවල දෙමව්පියන්ට දරුවන් අහිමිවෙනවා. දරුවන් සඳහා වන සමාජයීය සේවා මඟින් දරුවා දෙමව්පියන්ගෙන් වෙන්කර පරිවාස භාරයට පත්කිරීමට කටයුතු කරන්නේ නිවසේ ආරක්ෂිත පරිසරයක් නොමැති බව පවසමින්. මේ වගකීම පාසල් ගුරුවරුන්ට සහ සේවකයන්ටද තිබෙනවා. දරුවන් වෙනුවෙන් සුරක්ෂිත පරිසරයක් ඇති කිරීමට බොහෝ ක්‍රියාමාර්ග රජය විසින් ගෙන තිබෙනවා. පාසල්වල පරිසරය දරුවන්ගේ ආරක්ෂාවට මුල්තැනක් ලබෙන ආකාරයට නිර්මාණය වී තිබෙනවා. මගේ දියණිය අධ්‍යාපනය ලබන්නේ ප්‍රාථමික පාසලක. දරුවාගේ ආරක්ෂාව සහතික කිරීම කෙතරම් වැදගත්ද කියන කාරණයට මේ උදාහරණය පමණක් ප්‍රමාණවත් කියා මම හිතනවා. කනෙහි කරාබු දැමූ දරුවන්ට පාසලේ ඇතැම් ක්‍රීඩා වලට සහභාගි වීමට අවස්ථාව ලබා නොදීම එම පාසලේ පවතින නීතියක්. එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ එම තීරණය ගෙන ඇත්තේ ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස බවයි.
පාසල් අසල මාර්ගයේ ඉතාම පහළ වේග සීමා මඟින් පාසල් දරුවන් මාර්ග අනතුරුවලට ලක්වීම අවම වෙනවා. එලෙසම පාසල් ආරම්භ හා අවසන් වන වේලාවල් ඇතුළතදී බොහෝ මාර්ගවල පහළ වේග සීමා ක්‍රියාත්මකයි. මේ රටේ බොහෝ පාසල් දරුවන් පාපැදි හෝ ස්කූටර් (Kids scooter) මාර්ගයෙන් ගමන් කරනවා. එසේ ගමන් කරන සෑම දරුවෙකුම නිසි ආරක්ෂිත උපාංග පැලඳ සිටිය යුතුයි. එසේම සෑම දරුවෙකුටම මාර්ග නීතිරීති පිලිබඳ නිවැරැදි අවබෝධයක් පාසල් මගින් ලබාදීමට කටයුතු කරනවා. කලින් ලිපියක මම සඳහන් කළ ආකාරයටම මාර්ග අනතුරු අවම වීමට රියදුරන්ගේ දැනුවත්භාවය වගේම පදිකයින්ට නිසි අධ්‍යාපනය ලබාදීමද හේතුවක් වෙනවා. මේ ආකාරයටම කුඩා දරුවන් වාහනවල රැගෙන යාමේදී ළදරු ආසනයක් (kids seat) භාවිතා කළ යුතූ වෙනවා. කුඩා දරුවන් ඉදිරි අසුනේ රැගෙන යාමද තහනම්. එසේම වයස අවුරුදු දහහතරකට අඩු දරුවකු වාහනයක රැගෙන යාමේදී ආරක්ෂිත බෙල්ට් පැලඳ සිටීම අනිවාර්යය මෙන්ම එය සහතික කරගැනීම රියදුරුගේ වගකීමක්. මෙය ලියද්දී මට මතක්වෙනවා දින දෙකකට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුඩා දරුවෙකු උකුළෙහි තබාගෙන රිය ධාවනය කල පුවතක් දින දෙකකට පමණ පෙර අසන්නට ලැබුණ බව. මේ දෙමාපියන්ගේ නොසැලකිලිමත්බවනම් සිතාගැනීමට පවා අපහසු කාරණාවක්.
අද මේ ලිපියෙන් කතා කල මාතෘකාව පිලිබඳ තව බොහෝ කරුණු ලිවිය හැකියි. නමුත් අදට මෙපමණ ඇති කියා මා සිතනවා. නැවත මෙවැනිම ලිපියකින් හමුවෙමු.
මම,