/ Jun 09, 2025

ජනපති සමාවට වංගු ගසා තවත් දරුණු සිරකරුවෝ 20ක් නිදහස් කරලා ; විමර්ශනවලින් රහස් රැසක් එළියට

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටි රැඳවියකු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සඳහා අනුමැතිය ලබා දී නොතිබුණත් ඔහුව ජනාධිපති සමාව යටතේ මුදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

පසුගිය වෙසක් පොහෝ දින, පොදු සමාව ලබාදුන් සිරකරුවන්ට අමතරව වෙනත් සිරකරුවන් පිරිසක් ද බන්ධනාගාරය විසින් අනීතික ලෙස නිදහස් කර ඇති බවට ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ පසුගිය 6 වැනිදාය.

එම පැමිණිල්ල ප්‍රකාරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුව විසින් පුළුල් විමර්ශනයක් සිදුකළ අතර ඒ අනුව, ජනාධිපති සමාව අවභාවිතා කර දරුණු සිරකරුවෝ 20ක් පමණ අනීතිකව නිදහස් කර ඇති බව එහිදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

විමර්ශනවලදී හෙළිදරව් වූ කරුණු අනුව මීට පෙරද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දෙයි.

ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සඳහා අනුමැතිය ලද ලැයිස්තුවේ සිටි සිරකරුවන් වෙනුවට වෙනත් සිරකරුවන් පිරිසක් මෙසේ නිදහස් කරනු ලැබුවේ කිසියම් පුද්ගලයෙකුගේ අවශ්‍යතාව මත මත ද, පුද්ගලික හිතවත්කම් මත ද, එසේ නැත්නම් අල්ලස් මුදල් ලබාගෙන ද යන්න සම්බන්ධයෙන් සෙවීමට විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එමෙන්ම තවදුරටත් ලේඛන පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව පවතින බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

කෙසේ වෙතත් මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ අනීතික ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊයේ (08) පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර බන්ධනාගාර අධිකාරියවරයා අද දිනයේ දී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top