/ Jun 24, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු බිරිය සමඟ අත්අඩංගුවට : වෙස්වලාව අසාර්ථකයි!

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් දමා ගිය සිදුවීමේ ප්‍රධාන සැකකරු වන මියගිය කාන්තාවගේ පෙම්වතා, ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු යාපනය ප්‍රදේශයේදී අද (24) අලුයම පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

ඊයේ (23) වැල්ලවත්තේ සිට යාපනය, චාවකච්චේරිය දක්වා බසයකින් ගමන් කරමින් සිටියදී ලද බුද්ධි තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රධාන සැකකරු මුව ආවරණයක් පැලඳ සිටි අතර, ඔහුගේ බිරිඳ පොලීසිය නොමඟ යැවීම සඳහා මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වලාගෙන සිටි බව වාර්තා වේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ වලාන දූෂණ මර්දන ඒකකය එක්ව මෙම ඒකාබද්ධ මෙහෙයුම දියත් කර තිබුණි.

මෙම අපරාධයෙන් පසු සැකකරුවන් මුහුදු මාර්ගයෙන් විදේශගත වීමට උත්සාහ දරමින් පසුගිය දින කිහිපය තුළ මීගමුව සහ හලාවත යන ප්‍රදේශවල සැඟවී සිට ඇත. කෙසේ වෙතත්, වව්නියාවේ සිට කුරුණෑගලට පැමිණ තම අනෙක් දරුවන් දෙදෙනා බලා පොලීසියට භාරවීමට සැලසුම් කර සිටි බව සැකකරු මූලික ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇත.

සිද්ධියේ පසුබිම

  • පසුගිය 17 වනදා තෙල්දෙණියේදී මෝටර් රථයක් තුළ තිබී මෙලෙස හමුවූයේ අම්පාර මහ රෝහලේ සේවය කළ 34 හැවිරිදි ශම්‍යා දර්ශනී නමැති භෞත චිකිත්සකවරියගේ මළ සිරුරයි.
  • ඇයගේ පෙම්වතා වන ගන්නෝරුවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයා විසින් සිරුර එලෙස දමා පලාගොස් තිබුණි.
  • මියගිය තරුණිය දින ගණනකින් ආහාර ගෙන නොමැති බවට නුවරඑළිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී සීසීටීවී (CCTV) දර්ශන ඔස්සේ තොරතුරු රැසක් අනාවරණය විය. ඉකුත් 16 වැනිදා රාත්‍රී 9.50 ට පමණ නුවරඑළියේ පිහිටි අදාළ මහල් නිවසට පැමිණෙන සැකකරු, මිනිත්තු 40කට පමණ පසු (රාත්‍රී 10.30ට) සිහිසුන්ව සිටි තරුණියව ඔසවාගෙන විත් මෝටර් රථයක දමාගෙන යන ආකාරය එහි සටහන්ව තිබී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top