කිනම් පසුබිමකින් පැමිණි අයකු වුවද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් එම තැනැත්තාගෙන් රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමේ වරදක් නැතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ අද පැවැසූහ.
ආරක්ෂක අංශවල සිටි අය හෝ රණවිරුවන් ලෙස සලකණු ලැබූ අය, ඝාතන හෝ අපරාධයන්ට සම්බන්ධ වී ඇත්නම් ඔවුනට ද නීතිය එකලෙස ක්‍රියාත්මක විය යුතු යැයි උන්වහන්සේ අවධාරණය කළහ.
කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 7ක් පිරීම නිමිත්තෙන් වින්දිතයින් සිහිපත් කිරීමේ ප්‍රධාන වැඩසටහන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී පැවැති අවස්ථාවේය.
තමන්ගේ හිතවතුන් ආරක්ෂා කිරීම සඳහා රණවිරු ලේබලය තුළ ඔවුන් සැඟවීමට උත්සාහ කිරීම ඉතා නින්දිත ක්‍රියාමාර්ගයක් යැයි චෝදනා කළ උන්වහන්සේ අපරාධකරුවන්ට දඬුවම්කිරීම කිසිසේත් දේශද්රෝහීවීමක් නොවේ යැයි ද පැවැසූහ.
2024 ඔක්තෝබර් 6 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීගමුව කටුවපිටිය දේවස්ථානයේ දී බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් මුණ ගැසුනු මොහොතේ, ඔවුනට දුන් ප්‍රතිඥාව වූයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය කාලයේ වැලිතලාවට යටවී යන්නට තමන් ඉඩ නොදෙන බව යැයි කාදිනල් හිමිපාණෝ සිහිකළහ.
ඒ අනුව එකී පොරොන්දුව යථාර්තයක් කරමින් පාස්කු ප්‍රහාරය පිලිබඳව පරිපූර්ණ, විනිවිද පෙනෙන ආකරෙයෙන් සත්‍ය මත පදනම්වූ පරීක්ෂණයක් සිදුකර, එහි සත්‍යතාවය රටට හෙලිදරව් කරන ලෙස ඉල්ලාසිටින්නේ යැයි උන්වහන්සේ කීහ.
ඒ සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියා මාර්ග තවදුරටත් ඉදිරියටම ගෙනයනු ඇතැයි කතෝලික සමාජය විශ්වාස කරන්නේ යැයි ද කාදිනල් හිමිපාණෝ වැඩිදුරටත් සඳහන් කළහ.
දසුන් වීරසිංහ





