විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පැවසීය.
ජනාධිපතිවරයා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (12)පැවති සාකච්ඡාවෙන් අනනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී රජීව් අමරසූරිය වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිවරයා සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බවත්, එම සාකච්ඡාවෙන් පසු තීරණයෙන් වෙනසක් සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.
”අපි පැහැදිලි කරලා දුන්නා වෘත්තිය විනිසුරුතුමන්ලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ඇයි කියලා. මේ සාකච්ඡාවට අපේ විසි ගානක් හිටියා. ජනාධිපති නීතිඥවරු, නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරු, මහාචාර්යවරු. අපි එතුමාට පැහැදිලි කරා අපේ ස්ථාවරය. එතුමත් එතුමාගේ අදහස අපට කිව්වා. අපි අන්තිමට ඉල්ලීමක් කරා මේ වගේ වෙනස්කමක් කරනකොට පුළුල් විද්වත් සාකච්ඡාවකින් පසුව තමයි අවශ්‍ය පියවර ගත යුත්තේ කියලා. මේක කවුරුත් කාටවත් විරුද්ධ සටනක් නෙමෙයි. අදහස් පැති දෙකකින් ඉදිරිපත් වුණා. නීතිඥ සංගමයයි, නීතිඥ වෘත්තියේ මතයත්. අනිත් පැත්තෙන් ජනාධිපති ජනාධිපතිතුමාගේ අදහසත්.
අපි බලාපොරොත්තු වෙනවා අද සාකච්ඡාව ඉදිරියට ගිහිල්ලා පුළුල් විද්වත් සාකච්ඡාවක්. නීතිඥ සංගමය විතරක් නෙවෙයි. විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ඉන්නවා. මේ ගැන පර්යේෂණ කරපු අය ඉන්නවා. වෙන වෙන වාර්තා අපි ඉදිරිපත් කරලත් තියෙනවා. ඒවා හදපු අයත් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ සියලු දෙනාගේම අදහස් අරන් මේ තීරණය ගැන නැවත හිතලා බලලා, හරි තැනකට එන්න පුළුවන් වෙයි කියලා.
අද හොඳ සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවෙන් අපි බලමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ආණ්ඩුවට බලය තියෙනවා. ඒකට විරුද්ධ වෙලා ඒක වැරදියි කියන එක අපේ අයිතිවාසිකම. අද සාකච්ඡාවෙන් පස්සේ හොඳ අතකට හැරෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. අපි හමුවුණේ අතිගරු ජනාධිපතිතුමා. එතුමත් පරිණත නායකයෙක්. පරිණත දේශපාලනඥයෙක්. නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අවුරුදු ගාණක් සටන් කරලා තියෙනවා. මම හිතන්නේ පාරටත් බැහැලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු කොහොමද ඒක වෙන්නේ කියලා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.






