/ Jun 16, 2026

දිට්වා ආපදා: යළි ගොඩනැගීම වෙනුවෙන් ඩො. මිලියන 200ක ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය!

දිට්වා හේතුවෙන් සිදුවූ භෞතික ආපදා යළි ගොඩනැගීම වෙනුවෙන් නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් සහ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් යෝජිත ව්‍යාපෘතිය සඳහා ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා ‘ සුළි කුණාටුව හේතුවෙන් මහාමාර්ග, දුම්රිය මාර්ග සහ වාරි මාර්ග පද්ධති වැනි ජාතික යටිතල පහසුකම්වලට මෙන්ම ජීවනෝපායන්, කෘෂිකාර්මික කටයුතු සහ නිවාස වලට දැඩි හානි සිදු වූ අතර මේ සම්බන්ධයෙන් සිදු කරනු ලැබ ඇති පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරුවට අනුව, එම ව්‍යසනය හේතුවෙන් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක හානි මෙන්ම, ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක ආර්ථික පාඩු සිදු වී ඇති අතර, ප්‍රතිසාධන අවශ්‍යතාව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් බවට ඇස්තමේන්තුගත කරනු ලැබීය.

ඒ අනුව, හදිසි ප්‍රතිසාධන අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් සහ ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුව විසින් ‘ පශ්චාත් සුළි කුණාටු ප්‍රතිසංස්කරණය සහ ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය ‘ නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා දීමට එකඟතාව පළ කර තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග යටිතල පහසුකම් පුනරුත්ථාපනය කිරීම, සුළි කුණාටුවෙන් හානි වූ වාරි මාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ ජීවනෝපායන් ප්‍රතිස්ථාපනය කිරීම හා නිවාස ආධාර යන ප්‍රධාන සංරචක තුනකින් සමන්විතව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top