/ May 25, 2026

මාක්ස් සහ ග්‍රාම්ස්චි ඉතිහාසයෙන් මකන්න සැරසෙන ඉතාලිය!

මාක්ස් සහ ග්‍රාම්ස්චි උසස් පාසල් විෂය මාලාවෙන් ඉවත්කිරීමට පියවර ගනිමින් ඉතාලියේ අන්ත දක්ෂිණාංශික මෙලෝනි රජය නැවතත් තම ප්‍රතිගාමී දේශපාලන න්‍යාය පත්‍රය ප්‍රදර්ශනය කරමින් සිටී. පසුගිය අප්‍රේල් 23 වන දින, ඉතාලියේ රජයේ සැලසුමට අනුව, ලීග් පක්ෂයේ සාමාජිකයෙකු වන ගුසෙප් වැල්ඩිටාරාගේ නායකත්වයෙන් යුත් අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් පාසල් සඳහා නව “ජාතික මාර්ගෝපදේශ” (Indicazioni Nazionali) ඉදිරිපත් කළ අතර, කාල් මාක්ස් සහ ඇන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ කෘති දර්ශනවාද විෂය මාලාවෙන් ඉවත් කෙරිණ.

එය 2026 මැයි 31 වන දින දක්වා මහජන අදහස් සඳහා විවෘතව පවතින අතර 2027 දී බලාත්මක විය හැකිය. කෙටුම්පත් ලේඛනයට අනුව, මාක්ස් සහ ග්‍රාම්ස්චි අධ්‍යයනය ඇතුළත් “විශේෂයෙන් ඉතාලි චින්තනයේ මාක්ස්වාදයේ අර්ථ නිරූපණය සහ සංවර්ධනය” පිළිබඳ වෙනම මොඩියුලයක් දර්ශනවාදයේ විෂය මාලාවෙන් ඉවත්කර ඇත. ස්පිනෝසා සහ ලයිබ්නිස් ද කතුවරුන්ගේ ලැයිස්තුවෙන් ඉවත්කර ඇති අතර, කාන්ට්, ෆිච්ටේ සහ ෂෙලිං වැනි සම්භාව්‍ය ජර්මානු දාර්ශනිකයන්ගේ අධ්‍යයනය තියුණු ලෙස සීමාකර ඇත. ඒ වෙනුවට, උසස් පාසල් සිසුන්ගෙන් ඉතාලි ෆැසිස්ට්වාදයේ ප්‍රමුඛ දෘෂ්ටිවාදීන්ගෙන් කෙනෙකු වන ජියෝවානි ජෙන්ටයිල් ඇතුළු ගතානුගතික චින්තකයින්ගේ කෘති අධ්‍යයනය කරන ලෙස ඉල්ලා සිටී. හිට්ලර්ගේ ජර්මනියට පසු, ෆැසිස්ට්වාදයේ දෙවෙනි ප්‍රධාන කේන්ද්‍රය වූයේ, මුසෝලිනිගේ ඉතාලියයි. මෙය යුරෝපා රටවල හොල්මන් කරමින් සිටින, වත්මන් නවෆැසිස්ට්වාදය පැහැදිලිව පිළිඹිබු කරන උදාහරණයකි.

රජයේ තීරණය රටපුරා සිටින විද්වතුන්, ගුරුවරුන් සහ බුද්ධිමතුන් අතර කෝපයක් ඇතිකර ඇත. නව රෙගුලාසි අවලංගු කරන ලෙස ඉල්ලා ප්‍රමුඛ පෙළේ මහාචාර්යවරුන් සහ දාර්ශනිකයන් 60 කට වැඩි පිරිසක් විවෘත ලිඛිත පෙත්සමකට අත්සන් තැබූහ. මෙලෝනි ආණ්ඩුවේ නව වැඩසටහන “දක්ෂිණාංශික සංස්කෘතික ආධිපත්‍යය සඳහා වූ ව්‍යාපෘතියක්” ලෙස හඳුන්වමින්, රජය අධ්‍යාපනය මත තම මතවාදීමය පාලනය ස්ථාපිත කිරීමට උත්සාහ කරන බව ශාස්ත්‍රඥයින් කියා සිටි අතර, නව යොවුන්වියේ පසුවන්නන් තුළ විවේචනාත්මක චින්තනය හිතාමතාම මර්දනය කරන බවට බලධාරීන්ට චෝදනා කළහ.

“වසර ගණනාවක් තිස්සේ, මෙලෝනි රජය විවිධ ක්‍රම හරහා, ඔවුන් නව සංස්කෘතික ආධිපත්‍යයක් ලෙස හඳුන්වන දේ පැනවීමට උත්සාහ කරමින් සිටී” යැයි, වැනීසියේ කා’ ෆොස්කාරි (Ca’ Foscari) විශ්ව විද්‍යාලයේ දේශපාලන දර්ශනය පිළිබඳ මහාචාර්ය සහ පෙත්සමට අත්සන් කළ අයගෙන් කෙනෙකු වන ජොර්ජියෝ සෙසාරලේ  පවසයි. “මධ්‍ය-වාම හෝ කතෝලික-ප්‍රජාතන්ත්‍රවාදී ආධිපත්‍යය, ගතානුගතික චින්තනයේ ආධිපත්‍යයකින් ප්‍රතිස්ථාපනය කළයුතු බව ඔවුන් විශ්වාස කරන අතර, ආණ්ඩුව මෙය කරන්නේ සංස්කෘතික ආයතනවල ජ්‍යෙෂ්ඨ තනතුරු දැරීමෙන් සහ නූතන ලෝකයේ ශ්‍රේෂ්ඨ තාර්කික, ලෞකික, අදේවවාදී, භෞතිකවාදී සහ මාක්ස්වාදී චින්තනයට සෘජුවම විරුද්ධවන දර්ශනවාදී ඉගැන්වීම් සඳහා ප්‍රවේශයක් හඳුන්වා දීමෙනි.” යයිද පවසයි.

“මාක්ස් නොමැතිව, ඔබට කිසිවක් තේරුම්ගත නොහැක. මන්ද එතැන් සිට බොහෝ දර්ශනයන් මාක්ස්වාදය සමඟ හෝ මාක්ස් පිළිබඳ සංවාදයක් වී ඇත.” රෝමයේ, රෝමා ට්‍රේ (Roma tre) විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ෆ්‍රැන්චෙස්කෝ ටෝටෝ පැවසීය. “නූතනත්වය, නිදහස සඳහා කම්කරුවන්ගේ හෝ යටත් විජිතකරණය වූ ජනතාවගේ විවිධ අරගල තේරුම්ගැනීමට නොහැකිය. ඔවුන්ව ඉවත්කිරීම යනු ඉතිහාසයේ සැලකියයුතු කොටසක් මෙන්ම පසුගිය සියවස් දෙකේ නිදහස සහ සමානාත්මතාවය සඳහා වූ බලාපොරොත්තු විනාශ කිරීමයි.” තවදුරටත් සඳහන් කලේය.

කොමියුනිස්ට් ප්‍රතිසංස්කරණ පක්ෂය (PRC) සහ ඉතාලි කොමියුනිස්ට් පක්ෂය (PCI) ඇතුළු ඉතාලි කොමියුනිස්ට්වාදීන් ද ප්‍රතිසංස්කරණයට එරෙහි අධ්‍යයන ප්‍රජාවේ සටනට පූර්ණ සහාය දැක්වයි. කොමියුනිස්ට්වාදීන්, ග්‍රාම්ස්චි සහ මාක්ස් බැහැරකිරීම ඍජුවම සම්බන්ධ කරන්නේ ධනවාදය, පන්ති සූරාකෑම සහ බලයේ යාන්ත්‍රණයන් තේරුම්ගැනීම සඳහා වන මෙවලම් විනාශකිරීමට රජයට ඇති ආශාවටය. අධ්‍යාපන ක්‍රමය හරහා සමාජය මත ගතානුගතික, ජාතිකවාදී සහ කොමියුනිස්ට් විරෝධී මතවාදයක් පැටවීම ප්‍රතිසංස්කරණවල අරමුණ බව ඔවුන් විශ්වාස කරති.

ඇන්තෝනියෝ ෆ්‍රැන්චෙස්කෝ ග්‍රාම්ස්චි ඉතාලි මාක්ස්වාදී දාර්ශනිකයෙක්, මාධ්‍යවේදියෙක් සහ දේශපාලනඥයෙක් විය. ඔහු ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් සහ එක් කාලයක නායකයෙක් විය. බෙනිටෝ මුසොලිනිගේ ෆැසිස්ට්වාදය පිළිබඳ විවේචකයෙකු වූ ඔහු, 1926 දී සිරගත කරන ලද අතර 1937 දී මියයාමට ආසන්න ටික කලක් දක්වා සිරගතව සිටියේය.

ෆැසිස්ට් විරෝධී ක්‍රියාකාරිකයෙකු සහ “සංස්කෘතික ආධිපත්‍යය” පිළිබඳ න්‍යායේ කතුවරයා වන ඇන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ අරමුණු වලින්, “පාලක පන්තිය බලය පවත්වා ගන්නේ භෞතික බලයෙන් නොව, සමාජයක සංස්කෘතිය – එහි විශ්වාසයන්, වටිනාකම් සහ සම්මතයන් – හැඩගැස්වීමෙන් යන අදහස,” එකක්වීම, දැවැන්ත දේශපාලන සංකේතවාදයක් දරයි. ඉතාලි ඉතිහාසයේ වැදගත්ම විප්ලවවාදී මනසක් නිහඬකිරීමේ උත්සාහයක් ලෙස ෆැසිස්ට්වාදය ග්‍රාම්ස්චි සිරගත කළේය. අද වනවිට, ඉතාලි බන්ධනාගාර තවදුරටත් එවැන්නකට භාවිතයේ නොමැති වුවද, ඉතාලි දක්ෂිණාංශිකයින් ඉතිහාසය නැවත ලිවීමට උත්සාහ දරයි. ෆැසිස්ට්වාදයට විරෝධය මූර්තිමත් කළ චරිතය තරුණයින්ගේ මතකයෙන් මකාදමමින් සහ අධ්‍යාපනය සහ සංස්කෘතිය පාලනය කිරීම හරහා එහි උරුමය දේශපාලනිකව උදාසීන කිරීමට මාන බලමින් සිටී.

සකස් කළේ,

ජයන්ත වැලිවිට

(දේශපාලන – ආර්ථික විමර්ශකයෙකි. මොස්කව්හි පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව සරසවියේ, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top