තැඹිලි ගම්මාන වැඩසටහන ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට පිටුබලයක් වන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන, ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ මහායාය වතු පරිශ්‍රයේදී ඇරඹි අවස්ථාවේදී අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකාවේ තැඹිලි වගාව නව මඟකට ගෙන යමින්, නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීමත්, තැඹිලි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීමත් මෙම වැඩසටහනේ අරමුණයි.
වසර තුනක කාලයක් තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ යටතේ 2026 වසරේදී තැඹිලි ගම්මාන 75ක්, 2027 වසරේදී ගම්මාන 80ක් සහ 2028 වසරේදී ගම්මාන 95ක් වශයෙන් ගම්මාන ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
මෙහි සම්භාරම්භක උත්සවය අමතමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් පැවසුවේ, ලෝක වෙළෙඳපොළ තුළ තැඹිලි වතුර ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වන විට ඩොලර් බිලියන 4ත් 5ත් අතර වටිනාකමකින් යුත් විශාල වෙළෙඳපොළක් පවතින බවයි. ඉදිරි වසර 10 තුළ මෙම ගෝලීය වෙළෙඳපොළ ඩොලර් බිලියන 10කට ආසන්න මට්ටමක් දක්වා දෙගුණයක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින්, එම වෙළෙඳපොළෙන් විශාල පංගුවක් අත්පත් කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ඉවහල් වන බවද ඒ මහතා සඳහන් කළේය.
තවද, ග්‍රාමීය තැඹිලි වගාකරුවන්ගේ පවුල් ආදායම සහ ගම්මානවල ආදායම් මට්ටම ඉහළ නැංවීමට මෙන්ම, මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි කිරීමටද මෙම වැඩසටහන මඟින් අවස්ථාව සැලසෙන බැවින්, ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහාද සුවිශේෂී දායකත්වයක් ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
එමෙන්ම, පසුගිය වසරේ ශ්‍රී ලංකාව භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 14කට ආසන්න ආදායමක්ද, සේවා, තොරතුරු තාක්ෂණ හා සංචාරක ක්ෂේත්‍ර ඇතුළුව සමස්තයක් ලෙස ඩොලර් බිලියන 17.2ක ආදායමක්ද උපයා ඇතත්, ආනයන සඳහා ඩොලර් බිලියන 22කට ආසන්න ප්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇති බවත්, ඉදිරියේදී එම පරතරය අවම කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ඉවහල් වන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජෙල්ෆිනා සි. අලොව් (Dr. Ir. Jelfina C. Alouw) මහත්මිය, සහකාර ඉන්දීය මහකොමසාරිස් සාරන්‍යා මහත්මිය, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්, පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ පොල් පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.






