/ Oct 13, 2026

ඉදිරි සති දෙක ඇතුළත කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් පිරිසිදු කිරීමට අගමැතිනියගෙන් උපදෙස්!

ඉදිරි කාලය තුළ වර්ෂාපතනය ඉහළ යාමේ අවදානම සැලකිල්ලට ගනිමින්, වැසි ජලය විධිමත්ව බැසයාම තහවුරු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් පිරිසිදු කර ඉදිරි සති දෙක ඇතුළත එම කටයුතු අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

සුවිශේෂී තත්ත්වයක් සේ සලකා මෙම කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත්, ඉන් අනතුරුවද අඛණ්ඩව නඩත්තු කටයුතු පවත්වාගෙන යන ලෙසත් අග්‍රාමාත්‍යවරිය උපදෙස් දී ඇත.

අද (13) නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඇළ මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කිරීමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබේ. තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය මෙන්ම අවශ්‍ය සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කිරීමේදී පවතින අභියෝග පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇත.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ 2026 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් පිළිබඳවද රැස්වීමේදී අවධානය යොමු කෙරිණි. ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ප්‍රජා සවිබල ගැන්වීම, ආපදා කළමනාකරණය සහ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම එම වැඩසටහන්වල ප්‍රධාන අංශ වේ.

මේ අතර 2026 ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එහි පළමු අදියර යටතේ කොළඹ, තිඹිරිගස්යාය, කෝට්ටේ, හෝමාගම, පාදුක්ක සහ කැස්බෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මාර්ග සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතය.

දෙවන අදියර යටතේ කැස්බෑව, මහරගම, දෙහිවල, රත්මලාන, මොරටුව සහ කොලොන්නාව යන ප්‍රදේශවල මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම, 2025 වර්ෂයේ වැඩසටහන යටතේ තිඹිරිගස්යාය, කොලොන්නාව සහ සීතාවක ප්‍රදේශවල ආරම්භ කළ ව්‍යාපෘති කිහිපයක් මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවද නිලධාරීන් පෙන්වා දී ඇත.

මේ අතර දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනක් වන ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 1,117.53ක මුදලක් වෙන් කර තිබේ.

ඉන් රුපියල් මිලියන 1,108ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් සඳහා වෙන් කර ඇති අතර, ඉතිරි මුදල විශේෂ ව්‍යාපෘති සඳහා යෙදවීමට නියමිතය.

මෙම වැඩසටහන යටතේ කෘෂිකර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය සහ කුඩා පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීම සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමටද සැලසුම් කර ඇත.

මේ අතර ආපදා අවම කිරීමේ ව්‍යාපෘති යටතේ හෝමාගම, සීතාවක සහ මහරගම ප්‍රදේශවල ගංගා පිරිසිදු කිරීම සහ පටුමං සංවර්ධනය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම, ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් පාසල් සහ මහජන ක්‍රීඩාංගණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4ක මුදලක් වෙන් කර තිබේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 39ක් සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති අතර, දෙහිවල, මහරගම, හෝමාගම සහ තිඹිරිගස්යාය යන ප්‍රදේශවල ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමද එම වැඩසටහනට ඇතුළත් වේ.

මීට අමතරව, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය හරහා විහාරස්ථාන, ක්‍රීඩාංගණ සහ අධිකරණ ගොඩනැගිලි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිද ක්‍රියාත්මක වෙමින් පවතින බව නිලධාරීහු සඳහන් කළහ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ විකේන්ද්‍රගත ප්‍රාග්ධන අයවැය යටතේ ප්‍රතිලාභී පවුල් 184,775ක් සඳහා ව්‍යාපෘති 281ක් අනුමත කර තිබේ.

එම ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුළු ප්‍රතිපාදනය රුපියල් මිලියන 217.38කි. එයට මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 180ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 37.38ක් ඇතුළත් වේ. ව්‍යාපෘතිවල මුළු ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 217.03ක් බවද අනාවරණය විය.

අනුමත ව්‍යාපෘති 281හි භෞතික ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ තොරතුරුවලට අනුව, ව්‍යාපෘති 8ක ඇස්තමේන්තු සකස් කරමින් හෝ සකස් කිරීමට නියමිතව පවතින අතර, ව්‍යාපෘති 5ක ඇස්තමේන්තු සකස් කර අවසන් කර තිබේ.

ව්‍යාපෘති 21ක් සඳහා මිල ගණන් කැඳවා ඇති අතර, ව්‍යාපෘති 9ක් ඇගයීම් මට්ටමේ පවතී. තවත් ව්‍යාපෘති 17ක් සඳහා කොන්ත්‍රාත් පවරා ඇත.

වැඩ ආරම්භ කර ඇති හෝ සියයට 25ක් දක්වා අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 51කි. සියයට 25ත් 50ත් අතර ප්‍රගතියක් අත්කරගෙන ඇති ව්‍යාපෘති 9ක්ද, සියයට 50ත් 75ත් අතර ප්‍රගතියක් සහිත ව්‍යාපෘති 7ක්ද පවතී.

එමෙන්ම, සියයට 75ත් 99ත් අතර භෞතික ප්‍රගතියක් අත්කරගෙන ඇති ව්‍යාපෘති 17ක්, භෞතිකව සියයට 100ක් අවසන් කර ගෙවීම් කිරීමට ඇති ව්‍යාපෘති 93ක් සහ භෞතිකව මෙන්ම මූල්‍යමය වශයෙන්ද සම්පූර්ණයෙන් අවසන් කර ඇති ව්‍යාපෘති 44ක් පවතින බව රැස්වීමේදී අනාවරණය විය.

මූල්‍ය ප්‍රගතිය සලකා බැලීමේදී ව්‍යාපෘති සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 21.647ක් වන අතර, පරිපාලන වියදම රුපියල් මිලියන 0.334කි. ඒ අනුව, වාර්තා කර ඇති මුළු වියදම රුපියල් මිලියන 21.981කි.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණාරච්චි සහ සමන්මලී ගුණසිංහ මහත්ම මහත්මීන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top