පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය කිරීම් මගින් වත්මන් ජීවන වියදම සහ ජනතාවගේ මූලික අවශ්යතා පිළිබඳ තත්ත්වය නිවැරැදිව පිළිබිඹු නොවන බවට රාජ්ය නිලධාරිහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පෙන්වා දී තිබේ.
ඒ අනුව දරිද්රතා රේඛාව ගණනය කිරීමේදී භාවිත කරන පාරිභෝගික භාණ්ඩ එකතුව කාලීන සමාජ හා ආර්ථික වෙනස්කම්වලට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම ගැන එම කාරක සභාවේ අවධානය යොමුව ඇත.
අස්වැසුම වැනි සමාජ සුබසාධන වැඩසටහන් සඳහා ප්රතිලාභීන් හඳුනාගැනීමේදී යොදාගන්නා දත්ත වර්තමාන ගෘහස්ථ ආදායම් වියදම් තත්ත්ව නිවැරැදිව පිළිබිඹු කිරීමේ අවශ්යතාව ගැන ද එහිදී සාකච්ඡා වී තිබේ.
2019 වසරට අදාළ දත්ත අනුව එවකට ක්රියාත්මක වූ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල ප්රතිලාභ නොලැබුණේ නම් දරිද්රතා අනුපාතය 14.3% සිට 20.5% දක්වා ඉහළ යාමට ඉඩ තිබූ බව ද එහිදී අනාවරණය වී තිබේ.
මේ අතර 2026 ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයේ අවසන් වාර්තාව නිකුත් කිරීම මාසයකින් පමා වන බව ද රාජ්ය නිලධාරිහු මුදල් කාරක සභාවට දැනුම් දී ඇත.
දත්ත පිරිසිදු කිරීමේ සංකීර්ණතාව, පරිගණකගත කිරීමේ පමාව, නිලධාරි පුරප්පාඩු හා ආර්ථික සංගණනයට අදාළ කටයුතු ඊට හේතු වී ඇතැයි ද ඒ අනුව ඔක්තෝබර් මාසයේ නිකුත් කිරීමට සැලසුම් කර තිබූ අදාළ වාර්තාව නිකුත් කිරීමට සිදුවන්නේ දෙසැම්බරයේ බව ඔවුහු දැනුම් දී තිබේ.
මෙම සමීක්ෂණය සඳහා මාස 12ක කාලයක් පුරා දිවයිනේ ගෘහ ඒකක 25 000කින් දත්ත රැස්කර ඇති අතර එම දත්ත පිරිසිදු කිරීම, සත්යාපනය හා විශ්ලේෂණය කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින නමුත් ආර්ථික හා සමාජීය තත්ත්වයන්හි සිදුවන වෙනස්කම් වඩාත් නිවැරැදිව හඳුනාගැනීම සඳහා මෙවැනි සමීක්ෂණවල ප්රතිඵල කාලෝචිතව ප්රකාශයට පත්කිරීමේ අවශ්යතාව මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.
ශ්රී ලංකාවේ නිල දරිද්රතා රේඛාව ගණනය කිරීමේදී පුද්ගලයකුට දිනකට අවශ්ය කිලෝ කැලරි 2030ක අවම ආහාර ශක්ති අවශ්යතාව සහ ආහාර නොවන මූලික අවශ්යතා සඳහා වන පිරිවැය සැලකිල්ලට ගන්නා ‘මූලික අවශ්යතා පිරිවැය’ ක්රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
2024 අගෝස්තු මාසය වනවිට ජාතික නිල දරිද්රතා රේඛාව පුද්ගලයකුට මාසයට රුපියල් 17 719ක් ලෙස සටහන් වී තිබිණ.
පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රැස් වූ මෙම කාරක සභා රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස, නියෝජ්ය අමාත්යවරුන් වන චතුරංග අබේසිංහ හා නිශාන්ත ජයවීර ද රවුෆ් හකීම්, රවි කරුණානායක, ශානකියන් රාසමානික්කම්, තිලිණ සමරකෝන් හා විජේසිරි බස්නායක යන මන්ත්රීවරු ද සහභාගී වූහ.
පවන් ගුණවර්ධන





