මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් පසු එහි සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවූ රැඳවියන්ට එම බන්ධනාගාර තුළදී දරුණු ලෙස පහරදීම් සිදුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.
එම සංවිධානය සඳහන් කරන්නේ එසේ මීගමුවේ සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරුකර යැවූ රැඳවියන්ට පහරදී ඔවුන්ගේ කකුල් කඩාදමා ඇති බවත් අමානුෂික පහරදීම්වලින් ඔවුන්ගේ පිටවල් පැලී බරපතළ තුවාල සිදුව ඇති බවත් ය.
එමෙන්ම ඊයේ රාත්‍රියේදී වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන්ට එරෙහිව තවත් දරුණු වධහිංසා පැමිණවීමේ සූදානමක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇති බවත් එම නිවේදනයෙන් දක්වා ඇත.
ඒ අනුව මෙම ක්‍රියාවන් නැවැත්වීම සඳහා වහාම මැදිහත් වන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.






