ඊයේ (27) මියන්මාරය සහ තවත් රටවල් කිහිපයකට බලපෑ භූකම්පනය අතිශය විශාල හානියක් සිදු කර ඇති බව වාර්තා වේ. රිච්ටර් මාපකාංක 7.7ක කම්පනයක් සටහන් කළ එය සගායිං දෝෂය නම් විශාල භූ පැල්මක් ආශ්‍රිතව සිදුවූවක් බව අනුමාන කෙරේ. මියන්මාරය, ඉන්දියාව, තායිලන්තය, බංග්ලාදේශය සහ චීනය යන රටවලටද බලපා ඇති මෙම භූ කම්පනය නිසා ජීවිත හානි දසදහසේ සිට ලක්ෂයක් දක්වා සිදු ව ඇතැයි විශේෂඥයෝ අනුමාන කරති.
මියන්මාර භූ පෘෂ්ඨයට ඇතින් ඇති පාෂාණවල විශාල පැල්මක් ඇති අතර එය සගායිං නගරය හරහා කිලෝමීටර් 1200ක් විහිද යන බව කියැවේ. ස්ට්‍රයික් ස්ලිප් වර්ගයේ දෝෂයක් ලෙස භූ විද්‍යාවේ හඳුන්වන එය භූමිය පහළට හෝ ඉහළට නොව තිරස් දිශාවකට එකිනෙකා පසුකරගෙන ලිස්සා යාමෙන් හටගන්නා භූ කම්පනයකි. එය සමාන වන්නේ මේසයක් මත ඇති පොත් දෙකක් එකිනෙක ලිස්සා යාමටයි.
මෙම පැල්ම අන්මදන් දූපත් සිට හිමාලය දක්වා විහිද යන බව කියැවේ. 1930 සිට මේ දක්වා සගායිං දෝෂය නිසා මෙවැනි දරුණු භූ කම්පන 6කට වඩා සිදුව ඇත.
මියන්මාරයේ ඓතිහාසික සිද්ධස්ථාන රැසක් සම්පූර්ණයෙන් විනාශව ඇති අතර තායිලන්තයේ මහල් ගොඩනැගිලි ගණනාවක් සම්පූර්ණයෙන් කඩා වැටී තිබේ.
මෙම භූ කම්පාව මැදපෙරදිග සහ ආසියාවේ මෑත වර්ෂවල සිදු වුණ දැවැන්තම සොබාවික විනාශවලින් එකක් ලෙස සැලැකේ.