/ Jul 29, 2026

සමීක්ෂණවලට වියදම් කරන්න දෙයක් නැහැ පළාත් සභා ජන්දය ගේන්න – නාමල්

ආයතන වෙත මුදල් දෙමින් සමීක්ෂණ කරමින් සිටින වෙලාවේ පළාත් සභා ජන්දය පවත්වන්නේ නම් ආණ්ඩුවට ඇති කැමැත්තෙ ප්‍රමාණය පැහැදිලි කරගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

කෙසේවෙතත් ආණ්ඩුව එම මැතිවරණය පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳ ප්‍රශ්නය පවතින බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

”මොකද ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මතය උරගා බලන්න ඕනේ නම්, ඔය එක එක ආයතන වලට මුදල් දීලා සමීක්ෂණ වාර්තා කරන්නේ නැතුව පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන්. ​හැබැයි ඉතින් අනිත් පැත්තෙන්, ආණ්ඩුව මේ රටේ ජනතාව බඩගින්නේ තියෙනවා. ඒ සමීක්ෂණ වාර්තාවලම සඳහන් වෙනවනේ ජනතාවගෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් බඩගින්නේ ඉන්නවා කියලා”

​ආණ්ඩුව අද තමන් දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී සිටින අතර පක්ෂයක් ලෙස ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බවද මන්ත්‍රීවරයා පවසයි.

”ආණ්ඩුව හිතනවා නම් ජනතාවගේ මතයට විරුද්ධව, මේ රටේ වෘත්තිකයන්ගෙන් සහ මේ රටේ විශේෂයෙන්ම නීතිපති, මේ රටේ නීති වෘත්තියේ ඉන්න අයගෙන් විශේෂයෙන්ම නීතිඥ සංගමය, ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, ලංකාවේ නීතිඥ සංගමය සහ පහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරුන්ගේ සහ සමස්තයක් ලෙස මේ රටේ ජනතාවගේ මතයට විරුද්ධව ගිහිල්ලා, ආණ්ඩුවේ තනි කැමැත්තට ව්‍යවස්ථා සංශෝධන ගෙනැල්ලා මේ රටේ බලය තහවුරු කරගන්න පුළුවන් කියලා, ආණ්ඩුවට වැරදිලා. ​ඉතිහාසයේ එවැනි සිදුවීම් වෙච්ච වෙලාවල් වල ඒ කාලයේ තිබිච්ච ආණ්ඩුවලට අත් වෙච්ච තීරණයන් පිළිබඳවත් ආණ්ඩුව අවබෝධය, අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ආණ්ඩුව වැඩ කරන්නේ නැති කොට, තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නැති කොට, ආණ්ඩුව උත්සාහ කරන්නේ බලහත්කාරයෙන් තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න.
​නෑ, අද ඒක වෙන්නේ නෑ. හැබැයි ඉතින් ඔබට මතක ඇති අපි ඉතිහාසයේ කතරගම පෙරහැරටත් බෝම්බ ගැහුවා. ජීවිත හයක් නැති වුණා. අදටත් වාසනා ඇත් රජාගේ ඇඟේ ඒ බෝම්බ පාරවල් තියෙනවා.”

මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (29) නෙලුම් මාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධන කාර්යාලයේදීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top