අද (19) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද දක්වා ඇත.
මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශ සම්බන්ධ කාලගුණ අනාවැකි දක්වමින් පෙන්වා දී ඇත්තේ හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බවයි.
සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර මීගමුව සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
මෙම වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ප්‍රජාවත්, එම වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ජනතාවත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියි.
නැගෙනහිර පළාත,යාපනය, කිලිනොච්චිය,වවනියාව,මුලතිව්,පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේ උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම පිළිබඳව අවධානය යොමුකරන ලෙසද දැනුම් දී තිබේ.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද දැනට පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් නවතම දත්ත යාවත්කාලීන කර තිබේ.






