/ Jun 16, 2026

ඩෙංගු බරපතල දිස්ත්‍රික් 14ක ලේකම්වරුන්ගේ විශේෂ සාකච්ඡාවක්!

ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන දිස්ත්‍රික් 14ක දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්ව කැඳවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය සහිතව කඩිනම් විශේෂ සාකච්ඡාවක් සංවිධානය කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් ලබා දී ඇත.

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම මැඩපැවැත්වීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ(15) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර එහිදී මෙම උපදෙස් ලබා දී තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, මඩකළපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් එම සාකච්ඡාව පවත්වා ඇත.

මෙහිදී වර්තමාන ඩෙංගු තත්ත්වය, මේ දක්වා ක්‍රියාත්මක කර ඇති මර්දන වැඩසටහන්, රෝහල් පද්ධතියේ සූදානම, මදුරු මර්දන ක්ෂේත්‍ර වැඩසටහන්වල ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස කරුණු විමසා බැලුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ප්‍රජා සහභාගිත්වය වැඩිදියුණු කිරීම, ප්‍රජා සංවිධාන, පළාත් පාලන ආයතන, අනෙකුත් රාජ්‍ය ආයතන සහ ආරක්ෂක අංශවල දායකත්වය ලබාගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබේ.

ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව හා ක්‍රියාශීලීව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා, ඒ සඳහා සකස් කර ඇති වැඩසටහන් තවදුරටත් වේගවත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම ජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීම සඳහා කඩිනම් මාධ්‍ය වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ඊයේ(15) සිට ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්දන සතියේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, මෙම කටයුතු හදිසි හා ප්‍රමුඛ සේවාවන් ලෙස සලකා ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන ලෙස ද අදාළ අංශ වෙත දැනුම් දී ඇත.

ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් මර්දනය කිරීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් පාදක කරගනිමින් නව වැඩසටහන් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කළ අතර ඒ සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top