/ Apr 20, 2025

අනතුරු ඇරඹේ, 5ක් මරුට: පරෙස්සමින්!

අවුරුදු උදාව සමඟින් අනතුරු කිහිපයකින් මරණ 5ක් වාර්තා වන්නේ, අවුරුද්දයි මාස 7ක දරුවෙකුගේ ඛේදජනක මරණයක්ද සමඟයි.

මහව, මනම්පිටිය, බලංගොඩ සහ සිලාවතුර යන පොලිස් වසම්වලින් මෙම මාරක අනතුරු වාර්තා වී තිබේ.

මහව පොලිස් වසමේ අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ කැත්තපහුව ප්‍රදේශයේදී වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ගය අයිනේ තිබූ කුඹුක් ගසක ගැටී සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබේ.

බලංගොඩ පොලිස් වසමේ රුක්මල්කඳුර ප්‍රදේශයේදී නිවසක ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ලොරි රථයක් පණ ගන්වා නිවසින් පිටව යාමට පසුපසට ධාවනය කරන අවස්ථාවේදී නිවසේ සිටි පිරිමි දරුවෙකු ලොරි රථයේ වම්පස පිටුපස රෝදයට යටවීමෙන් අනතුරක් සිදුව ඇත. බරපතළ තුවාළ ලැබූ දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

මේ අතර මනම්පිටිය පොලිස් වසමේ දිඹුලාගල මහඋල්පත මාර්ගයේ මහඋල්පත ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සාගොස් මාර්ගයේ ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව හා පැදිකරු මනම්පිටිය හා පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කිරීමේදී පදික කාන්තාව මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, මහඋල්පත, කාශ්‍යපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවකි.

මේ අතර සිලාවතුර පොලිස් වසමේ සිලාවතුර මුල්ලිකුලම් පුත්තලම ප්‍රධාන මාර්ගයේ පාසිතණ්ඩල් ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ එළ ගවයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසු පැදිකරු සිලාවතුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහල වෙත මාරු කර යවා පැදිකරු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.  

එලෙස මියගොස් ඇත්තේ, මරිච්චකට්ටි, මන්නාරම ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙකි.

අලුත් අවුරුදු සමයේ මාර්ගවල ඇති අධික වාහන ගමනාගමනයත්, සමහර දෙනෙක් බීමතින් රිය ධාවනයත් ආදිය නිසා අනතුරු සිදුවීමේ අවස්ථාවන් ඉහළ ගොස් තිබේ.

සියලු දෙනාට කල්පනාකාරීව කටයුතු කරන ලෙස අපිද ඔබෙන් ඉල්ලා සිටිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top