මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන ගණනක මුදලක් තුන්වන පාර්ශ්වයකට පත්වීමේ සිද්ධිය සඟවා ඉතිහාසයෙන් මකා දැමීමට මුදල් අමාත්‍යාංශය උත්සාහ දරමින් සිටින බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය චෝදනා කරයි.
එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවෙන්ද සැඟවීමට කටයුතු කර ඇති බවයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනරජයේ ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට පැවරී ඇති රාජ්‍ය මූල්‍ය වගකීම් ඉටු කිරීම සඳහා එම වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.
මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සඳහනක් ඇතුළත් කර නොමැති බවද ඔහු කියා සිටියේය.
ජාතික විගණන කාර්යාලය සිය නිරීක්ෂණවලදී භාණ්ඩාගාරයෙන් ණයකරුවන් නොවන පාර්ශ්වයකට මුදල් ගෙවා ඇති බව අනාවරණය කර ඇති බවද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.
භාණ්ඩාගාර මංකොල්ලය සිදුවූ දින සිට මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව මඟහරිමින් සිටින බවටද චෝදනා එල්ල වන බව ද තෙන්නකෝන් මහතා කීය.
මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ අනෙකුත් වගකිවයුතු ආයතන කිසිවක් මේ සම්බන්ධයෙන් වගකීම භාරගෙන නොමැති බවට ද ඔහු චෝදනා කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා සභාපතිත්වය දරන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව අදාළ ලේඛන ලබාදීම සඳහා ලබාදුන් කාලය හේතුවෙන් සිද්ධිය පිළිබඳ අවධානය අඩුවූ බවද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.
අදාළ වාර්තාව තවදුරටත් කාරක සභා සාමාජිකයන්ගෙන් සඟවා තැබීමට උත්සාහ දරන බවටද එම සංවිධානය චෝදනා කරයි.






