උණ රෝගය වැළඳීම හේතුවෙන් ලග්ගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ සිඟිත්තියක රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් මිය ගිය බවට වන චෝදනාවක් පිළිබඳ වාර්තා වේ.
අවුරුදු එකයි මාස නවයක් වූ මෙම සිඟිත්තියගේ මරණය සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලයට චෝදනා කරමින් මාතලේ ලග්ගල ප්‍රදේශයේ යුද හමුදා සෙබළකු වන සිඟිති දියණියගේ පියා ජනාධිපතිවරයාට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
අමීෂා ගිම්හානි නම් වූ දියණිය පසුගිය 15 වෙනිදා උදෑසන උණ සහ වමනය යෑම හේතුවෙන් ලග්ගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවත්, එදින සිට දින දෙක හමාරකට අධික කාලයක් මිශ්‍ර වාට්ටුවක තබාගෙන නිසි ලෙස අවධානයක් යොමු නොකර රඳවාගෙන සිටි බවත් ඇයගේ මව්පියන් චෝදනා කරයි.
තම දියණිය ආහාර නොගෙන මලානිකව හඬා වැටෙමින් සිටින බවත්, ඇගේ අසනීපය උග්‍ර තත්ත්වයට හැරී ඇති බවත් තමා රෝහලේ වෛද්‍ය නිලධාරීනියට දැනුම් දුන්නද, ඇය ඒ සඳහා නිසි අවධානයක් යොමු නොකළ බවත් සඳහන් කරමින් දියණියගේ මව කියා සිටින්නේ “උණ සෑදුණු වැඩිමල් අයටද ආහාර අරුචිය ඇතිවන බව” පවසමින් වෛද්‍ය නිලධාරිනිය එය නොසලකා හැරි බවයි.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත්තද, රෝගීන් බැලීමට වෛද්‍ය නිලධාරිනිය වාට්ටුවට නොපැමිණි බැවින් තමන් දරුවා රැගෙන ගොස් බාහිර රෝගී අංශයට පැමිණ වෙනත් වෛද්‍යවරයකුට පෙන්නූ බවත් ඇය සඳහන් කළාය.
දින දෙකහමාරකට පසුව ලග්ගල රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට තමන් කළ ඉල්ලීමකට අනුව නැවත පරීක්ෂා කිරීමේදී දියණියට අසාධ්‍ය බව පවසා දඹුල්ල රෝහලට මාරුකර යැවූ බවත්, දඹුල්ල මූලික රෝහලේ දිනක් ප්‍රතිකාර කර දියණිය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පවසා අනුරාධපුර රෝහලට මාරුකර යැවූ බවත් දියණියගේ මව පැවසුවාය.
අවාසනාවන්ත ලෙස, අනුරාධපුර රෝහලේදී අමීෂා ගිම්හානි දියණිය මියගිය බවත්, මරණයට හේතුව ලෙස අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තම දියණියගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් බවත්, ඇයට විජලනය (dehydration) හා ආසාධිත තත්ත්වයක් නිරීක්ෂණය වූ බව පැහැදිලි කළ බවත් මවුපියෝ සඳහන් කළහ.
ලග්ගල ප්‍රාදේශීය රෝහලෙන් තම දියණිය දඹුල්ල රෝහලට මාරු කර යවන අවස්ථාවේ මූලික ප්‍රතිකාර සටහන් පත්‍රිකා කිසිවක් යවා නැති බවටද මවුපියෝ චෝදනා කරති.
කෙසේ වෙතත් මෙම දියණියගේ මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මව සහ පියා නඟන චෝදනා සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් 27 වැනි බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස දෙමාපියන්ට දන්වා ඇත.