/ Oct 16, 2026

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ මගඩි තවදුරටත් : ගාල්ලේ ප්‍රධාන පාසලක සම්මුඛ පරීක්ෂණවලට ෆෝන් තහනම්!

දිවයින පුරා පාසල්වලට 2027 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වේ. එම සම්මුඛ පරීක්ෂණවලදී සමහර පාසල් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛ උල්ලංඝනය කෙරෙමින් ඉතාමත් දූෂිත සහ නීති විරෝධී අන්දමේ කටයුතු සිදුවන බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

ලංකා ගුරු සංගමය වෙනුවෙන් මාධ්‍ය හමුවකට එක්වෙමින් අශෝක චන්ද්‍රසේකර සඳහන් කළේ ගාල්ලේ ප්‍රධාන පාසලක් සම්මුඛ පරීක්ෂණවලට දරුවන් රැගෙන එන දෙමාපියන්ට දුරකතන රැගෙන ඒම පවා තහනම් කොට ඇති බවයි. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ, සම්මුඛ පරීක්‍ෂණවල සිදුවන දූෂණ ක්‍රියා හෙළිවනු ඇතැයි බියෙන් ජංගම දුරකතන රැගෙන ඒම මෙලෙස තහනම් කොට ඇති බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“දැන් මේ වෙනකොට දිවයිනේ විවිධ පාසල්වල ලබන වසර සඳහා, 2027 වසර සඳහා 1 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය එක්ක බැඳිච්ච බරපතල වංචාසහගත කටයුතු හෙළිදරව් වෙමින් පවතිනවා.

දැන් අනියම් ආකාරයෙන් මුදල් රැස්කිරීම: සිසුන් බඳවා ගැනීමේ චක්‍රලේඛයට අනුව මුදල් හෝ වෙනත් භාණ්ඩ හෝ ලබාගැනීම වළක්වා තියෙද්දිත්, විවිධ අනියම් ආකාරයෙන් මුදල් ලබාදීමට දෙමාපියන් පොළඹවමින් ඉන්න බවක් අපට පේන්න තියෙනවා. සම්මුඛ පරීක්ෂණ වලදී මුලදිම මුදල් දෙන්න කියලා යෝජනා කරන්නේ නැතුව,  “අපි මෙච්චරක් දෙන්නම්” කියලා වචනය දෙමාපියන්ගෙන් පිටවෙන ආකාරයට දෙමාපියන් හසුරවනවා, ආදි ශිෂ්‍ය සංගම් යොදාගෙන.

ආදි ශිෂ්‍ය සංගම් සීමාව ඉක්මවල මේ කාර්යයට මැදිහත් වෙනවා. යම්කිසි විදිහකින් දෙමාපියෝ මුදලක් ගැන එකඟතාවයකට ආවේ නැත්නම්, මුදලක් දෙන්න පොරොන්දු වුණේ නැත්නම්, නැවත නැවත නැවත  සම්මුඛ පරීක්ෂණ වලට කැඳවනවා.

හැබැයි දෙමාපියෝ මේ පිළිබඳව ඍජුව ඉදිරිපත් වෙන්නේ නැහැ, මොකද දෙමාපියන්ට වඩා වැදගත් වෙන්නේ තමාගේ දරුවා තමා අපේක්ෂා කළ පාසලට ඇතුළත් කරගැනීම. ඒ හින්දා මේවට පැමිණිලි කරන්න ගියාම දරුවාව පාසලට දාගන්න බැරි වෙයි කියලා දෙමාපියෝ නිහඬව, හැබැයි අකමැත්තෙන් මේවට අනුගත වෙමින් ඉන්නවා.

මුදල් දෙන්න එකඟ නොවන අයට විවිධ අපහසුතාවයට පත් වෙන ආකාරයෙන් නැවත නැවත නැවත නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වන ආකාරය තමයි අපට දකින්න ලැබෙන්නේ.

දැන් ගාල්ලේ ප්‍රසිද්ධම පාසලක මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. මේ වට කීපයකින්, දැන් පළවෙනි වටයට ගිහිල්ලා, දැන් නැවත හෙට කැඳවලා, මේ කැඳවද්දි පළවෙනි සම්මුඛ පරීක්ෂණයේදීත් ජංගම දුරකතන ඇතුළට ගෙන යෑම තහනම් කරලා තිබුණා, ඒවා ගේට්ටුව ගාව රඳවාගෙන ටෝකන් එකක් දෙනවා, ඇතුළට ගෙනියන්න දෙන්නෙ නැහැ. මේ ජංගම දුර‍කතනය පවා ඇතුළට ගෙනියන්න නොදී මේ සම්මුඛ පරීක්ෂණයේදී මේ කරන කතාබහ ඇතුළේ මුදල් දෙන්න පොළඹවන ආකාරයේ අදහස් ප්‍රකාශ වෙනවා කියන එකට දෙමාපියන් අපට කියලා තියෙනවා.

ගාල්ල පාසලේ මේ ජංගම දුරකතන ගෙනියන්න එපා කියලා මොකක්ද තියෙන නීතිය? ඒ නිසා මේ පිළිබඳව බලධාරීන් වහාම සොයා බැලිය යුතුයි. අපි කියන්නේ දෙමාපියන්ට මේ පිළිබඳව විරෝධය දක්වන්න සහ මේ ඉදිරිපත් වෙන්න මේ පිළිබඳව පැමිණිලි කිරීම සඳහා. ඒ වගේම ආදි ශිෂ්‍ය සංගම් වල මැදිහත් වීම හරහා ආදි ශිෂ්‍ය පදනමෙන් මත ලැබෙන අවස්ථාව, ඒ පාසලේ ආදි ශිෂ්‍යයෙක් වීම මත දෙමාපියන් ආදි ශිෂ්‍යයෙක් වීම මත ලැබෙන දෙයක් මිසක් ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය දැරීම මත ලැබෙන දෙයක් නෙමෙයි.

අපි දකිනවා බොහෝ පාසල් වල ආදි ශිෂ්‍ය සංගමයට බැඳිලා ඉන්න ඕන, ආදි ශිෂ්‍ය සංගමයේ විවිධ සංවර්ධනය කියලා කරන විකාර වැඩවලට මුදල් දීලා තියෙන්න ඕන, ඒ අනුව තමයි ආදි ශිෂ්‍ය සංගමයෙන් විදුහල්පතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරන්නේ. මේක ආදි ශිෂ්‍යයන්ගෙන් වෙච්ච දෙමාපියන්ගේ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්. ඒ නිසා අපි දෙමාපියන්ට නැවතත් මතක් කරනවා තමන්ගෙන් අසාධාරණ අයුතු විදිහට අනීතික විදිහට මුදල් හෝ භාණ්ඩ රැස් කරනවා නම් ඒ පිළිබඳව පැමිණිලි කරන්න, ඊට එරෙහි වෙන්න. ඒ වගේම මේ ආදි ශිෂ්‍ය සංගම් වල මාෆියාවට අහු වෙන්න එපා, ඒවට එරෙහි වෙන්න බලධාරීන්ට අපි කියනවා, ඒ නිසා බඳවා ගැනීම වෙනුවෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ වලට අනුව මේ කටයුතු සිද්ධ වෙනවද කියලා කියන එක ගැන දැඩි සේ සැලකිලිමත් වෙන්න.

දැන් ආදි ශිෂ්‍ය සංගම් චක්‍රලේඛයේ පැහැදිලිව දක්වලා තියෙනවා, එම පාසලේ මේ වර්තමානයේ වෙන විට ඉගෙනුම ලබමින් සිටින සිසුන්ගෙන් මුදල් අය කරන්න බැහැ වෙන මොනවාම හෝ කටයුත්තකට. ආදි ශිෂ්‍ය සංගම් පිහිටුවලා තියෙන්නේ පාසලේ ඉගෙන ගත්ත ආදි ශිෂ්‍යයින්ට පාසලට සුභපතන්නන් විදිහට සහභාගි වෙලා ඒ පාසලේ යම් යම් කටයුතුවලට සහය වෙන්න. දැන් මේ අටෝගන තියෙන ආදි ශිෂ්‍ය සංගම් මොකද කරන්නේ? ඔවුන් එකතු වෙලා ලොකු ව්‍යාපාරිකයෝ ලොකු නම් ගහගෙන, ලොකුවට බෝර්ඩ් ගහගෙන හිටියට ඒ ඔවුන් කරන කටයුත්ත කරන්නේ පාසලේ දැන් ඉගෙනුම ලබන ශිෂ්‍යයින්ගෙන් මුදල් එකතු කරලා. මේක බරපතල විදිහේ මාෆියා එකක්. තමන්ට නැති ගෞරවයක් අත්පත් කර ගැනීම සඳහා තමයි මේක තනතුරුත් ගන්නේ. බොහෝ පාසල්වල අපි දකින්නේ විදුහල්පතිවරුත් එක්ක එකතු වෙලා මේ ගේම් එක ප්ලේ කරනවා. තවත් තැන්වල ආදි ශිෂ්‍ය සංගමයට හසුරුවා ගන්න බැරි ඍජුව කටයුතු කරන විදුහල්පතිවරු ඉන්න තැන්වල විදුහල්පතිවරයා එළවා දැමීමට විවිධ කුමන්ත්‍රණ කරලත් මේ ආදි ශිෂ්‍ය සංගම් බලය අල්ලන් ඉන්නවා.

යම් පාසලක සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙද්දී හෝ රැස්වීමක් පැවැත්වීමේදී, සංවර්ධන සමති රැස්වීමේදී හෝ දෙමාපියන්ට තමන්ගේ දුරකතනය පවා ඇතුළට ගේන්න ඉඩ දෙන්නේ නැහැ කියන්නෙම එතන අනීතික දෙයක් සිද්ධ වෙනවා. එතන වංචාවක් සිද්ධ වෙනවා. එතන නම් අයුතු බලපෑමක්, බලහත්කාරයක් සිද්ධ වෙනවා. නිසා බලධාරීන්ගේ වගකීමක් මෙවැනි කටයුතු සිද්ධ වෙන තැන් පිළිබඳව විශේෂයෙන් හොයලා බලන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top