/ Jul 28, 2026

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ ආසන්නතම හේතුව මෙන්න!

අධිකරණවල ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීම සඳහා අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමේ අරමුණින් සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට පියවර ගත් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙම මාධ්‍ය හමුවේදී උක්ත ප්‍රස්තුත කාරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස හා අමාත්‍ය හර්ෂණ නානායක්කාරව ප්‍රශ්න කරනු ලැබූ අතර එහිදී රජයේ පාර්ශවය නියෝජනය කරමින් අමාත්‍යවරුන් පැවසුවේ සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගත් එක් පියවරක් පමණක් බවත් ඊට අමතරව නඩු ප්‍රමාදයට බලපාන අනෙකුත් ගැටලු විසඳීමටද රජය මැදිහත් වන බවත් අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරන ලදී.

මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මේ වන විට අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11කට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි. එම තත්ත්වය හේතුවෙන් ජනතාවට මාස ගණන් සහ වසර ගණන් අධිකරණ ක්‍රියාවලිය සඳහා රැඳී සිටීමට සිදුව ඇති බවද ඔහු පැවසීය.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගැටලු විසඳීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ අධිකරණ අමාත්‍යාංශයේ හා අධිකරණවල පවතින කාර්ය මණ්ඩල හිඟය පිරවීම සඳහාද පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නඩු ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් බවත් සංවර්ධිත රටවල ජනගහනයෙන් මිලියනයකට විනිසුරුවරුන් 40ත් 60ත් අතර ප්‍රමාණයක් සිටියද ශ්‍රී ලංකාවේ එම අගය 20කට ආසන්න බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

වසර ගණනාවක් පුරා අවශ්‍ය පුරෝකථනයන්ට අනුව විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි නොකිරීම හේතුවෙන් වර්තමානයේ නඩු ගොඩගැසීමේ තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

”අපි දීපු එක පොරොන්දුවක් තමයි අධිකරණවල මිනිස්සු සෑහෙන රස්තියාදු වෙනවා. මාස ගණන් අවුරුදු ගණන් අධිකරණවල නඩු යනකොට මිනිස්සු රස්තියාදු වෙනවා. එහෙනම් අධිකරණ අනිත් පද්ධති වගේම කාර්යක්ෂම වෙන්න ඕනේ. ඒ කාර්යක්ෂම කිරීම සඳහා නඩුකාරවරුන්ගේ වයස් සීමාව වැඩි කිරීම එක පැත්තක් පමණයි තවත් පැති කීපයකටම අපි මැදිහත් වෙනවා. මූලිකව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති ගැටලු විසඳමින් ඒක කඩිනම් කරන්න ඕනේ. ඒකෙත් නඩු හිරවෙන තැනක්. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන ප්‍රශ්න විසඳිය යුතුයි. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයේත්, උසාවිවලත් කාර්ය මණ්ඩලය මේ දවස්වල බඳවා ගනිමින් යනවා. මේ ඔක්කොම කරන්නේ නඩු ලක්ෂ 11ක් ගොඩනැගිච්ච පද්ධතියක් අපිට තිබෙනවා. මේක වේගවත් කිරීම ඉතා අත්‍යවශ කාරණාවක් හැබැයි ඒක කරන්න නම් මූලික දේ තමයි සාමාන්‍යයෙන් දියුණු රටක ජනගහනයෙන් මිලියනයෙන් එකකට නඩුකාරතුමන්ලා ඉන්නේ 40-60ත් අතර හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන්. නමුත් ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට ඉන්නේ 20ක් පමණයි. ඉතිං ඇත්තෙන්ම මේ අර්බුදය එන්න මූලික හේතුව තමයි වසර 10-15ක් තිස්සේම යම් පුරෝකථනයක් ඇතිව විනිසුරුවන් වැඩි වෙන්න තිබුණා. නමුත් එහෙම නොවී ඇවිත් නිසා තමයි නඩු ගොඩගැහිලා තිබෙන්නේ.” යනුවෙන් තවදුරටත් අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top