අනාගත ඩිජිටල් තාක්ෂණය සහ STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත) අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ජාතික STEM අධ්‍යාපන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් 18 හැවිරිදි සෙනීසා ගුණවර්ධන, ShakthiSAT International Mission ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තේරී පත්ව ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කරයි.
ජාතික STEM අධ්‍යාපන වැඩසටහන යටතේ මේ වන විට ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් 200 දෙනෙකු සක්‍රීය පුහුණුව ලබමින් සිටින අතර, තරගකාරී තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව සෙනීසා ගුණවර්ධන මෙම ජාත්‍යන්තර අවස්ථාවට හිමිකම් ලබා ඇත.
ShakthiSAT International Mission වැඩසටහන 2026 අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ ගෞතම් බුද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වන නිල සංචාරය අගෝස්තු 21 සිට 31 දක්වා නව දිල්ලිය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර ඇත.
තවද මෙම සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය ජනාධිපතිවරිය සහභාගී වන නිල රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් සහ රාජ්‍ය උත්සව කිහිපයකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෙනීසා ගුණවර්ධන සහභාගී වීමට ද නියමිත බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට හිමි වූ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනික සහ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස සැලකෙන අතර STEM අධ්‍යාපනය, නවෝත්පාදනය සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාව ගෝලීය වේදිකාව වෙත රැගෙන යාමේ තවත් වැදගත් පියවරක් ලෙස ද සැලකේ.






