ලක්ෂ 16ක් නරඹා ඇති වෙළඳ ප්‍රචාරණ වීඩියෝවක් හරහා තමන්ගේ පරපුරේ සංස්කෘතියට අපහාසයක් සිදුව ඇති බව පවසමින් ආදිවාසි නායක වන්නිල ඇත්තෝ නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව පවසයි.
රූපලාවන්‍ය ආලේපන වර්ග සම්බන්ධයෙන් යූටියුබ් වීඩියෝවක් නිකුත් කර ඇති බ්ලොක් ඇන්ඩ් ඩිනෝ නම් නාලිකාව එහිදී ආදිවාසියෙකු ලෙස නිරූපණයක් ඉදිරිපත් කරයි. එහිදී තමන් සුදු වලිගෙ ඇත්තෝ ලෙස හඳුන්වාගන්නා එම චරිතය, විදේශිකයන් සමඟ ඡායාරූප ගැනීමට මුදල් අය කිරීම ඇතුළු විවිධ ආදිවාසි සංස්කෘතිය අපහාසයට සහ විකෘතියට ලක් වන අංග ඇතුළත් කර නිර්මාණය කර ඇතැයි වන්නිල ඇත්තෝ චෝදනා කරයි.
‘අපේ පරම්පරාවට සම්බන්ධ නායකයෙක් විදිහට කෙනෙක් මේ සමාජ මාධ්‍ය වැඩසටහනේ එනවා. එයා ලොකු වෙළඳාමක් කරන්නේ. මං මේක නවත්තන්න කියන්න කතා කරා. ඒත් එහෙම වුනේ නැහැ. මං දුරකථනයෙන් කතා කළාට උත්තර දුන්නෙ නැහැ.. දැන් මාධ්‍ය නිදහස ගැන කථාකරනවා. ඒත් පරපුරකට මෙහෙම හානියක් කරලා මුදල් හොයන්න කාටවත් අයිතියක් නැහැ. තමන්ගේ මඩිය තද කරගන්න හිතනවා විතරයි. තමන්ගේ රටේ සංස්කෘතියට මොනව වුණත් ඒ අයට කමක් නැහැ.
මේ වීඩියෝ එක අන්තර්ජාලයෙන් දැන් ලක්ෂ 16 ක් බලලාලු.සල්ලි හොඳට හොයලාලු. මේ ඇත්තන්නේ පරම්පරාවේ භාෂාව සිරිත් විරිත් ඒ හැම එකම විනාස කරල තමයි මේ සල්ලි හොයන්නෙ.
මේක ලියපු කෙනා මේ භාෂාව විකෘති කරලා. ‘පොජ්ජ’ කියල හැමතැනම දාගෙන වෙන භාසාවක් කතා කරනවා.මේ පරම්පරාවට කරපු අපකීර්තියට වන්දියකුත් එක්ක තමයි අපි නඩු මගට එළැඹෙන්න හදන්නෙ.