මාරවිල පොලිස් වසමට අයත් දුන්කන්නාව ප්‍රදේශයේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් හටගත් ආරවුලකින් පසු පෙට්‍රල් ගසා ගිනි තැබීමේ සිද්ධියකින් සිව්දෙනකු පිළිස්සුම් තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල පොලිසිය පවසයි.
17 වැනිදා මධ්‍යම රාත්‍රි 12.30 ට පමණ මෙම සිදුවීම වී තිබේ. දුන්කන්නාව ලුර්දු මාවතේ පදිංචිව සිටින වයස අවුරුදු 54ක පුද්ගලයකු සිය නිවස පිහිටි ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටිය දී එම මාර්ගයේ රැඳී සිටි පුද්ගලයන් තිදෙනකු ඔහු සමග බහින් බස්ව ඇත. පසුව එය ගුටි බැට හුවමරුවක් දක්වා දුර දිග ගොස් තිබේ. අනතුරුව එක වරම මාර්ගයේ ගමන් ගත් පුද්ගලයා සිය නිවසට දිව ගොස් පෙට්‍රල් බාල්දියක් රැගෙන විත් ඔහු සමග ආරවුල ඇති කරගත් තිදෙනාට ගසා තිබේ. පසුව ලයිටරයක් ගෙන එය දැල්වීමට උත්සාහ කිරීමේ දී ඔවුන් සිව්දෙනා පොර බදන අවස්ථාවේ ලයිටරය පත්තු වී සිව් දෙනාම පිළිස්සුම් තුවාල ලබා මරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පෙට්‍රල් බාල්දිය ගැසූ පුද්ගලයා සිද්ධියෙන් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියෙන් රෝහල්ගත කර ඇති සෙසු තිදෙනා දුන්කන්නාව බෝධිවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23,24 සහ 52 වියේ පසුවන්නෝය. මෙම තිදෙනා අතර පිය පුතු දෙපළක් ද වෙති. මාරවිල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
අමරනන්ද විජේසේකර මහවැව – දිවයින






