ඊයේ (සැප්තැම්බර් 24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වේදිකාවට පැමිණෙනවාත් සමඟම, විදේශීය නියෝජිතයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සභා ගර්භයෙන් පිටව යමින් (Walkout) සිය විරෝධය පළ කර තිබේ.
මෙහිදී ඊශ්‍රායෙල් අගමැතිවරයා පිටව ගිය නියෝජිතයන්ව හෙළා දැක, ඔවුන්ව “සදාචාරාත්මක බියගුල්ලන්” (Moral Cowards) ලෙස හැඳින්වීය. “තවමත් ශාලාවෙන් පිටව නොගිය වෙනත් සදාචාරාත්මක බියගුල්ලන් සිටී නම්, කරුණාකර දැන්ම පිටව යන්න” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කරනු ලැබීය.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සහ ලෙබනනයේ සිදු කරන හමුදා ක්‍රියාමාර්ගවලට විරෝධය දැක්වීමක් ලෙස රටවල් රැසක නියෝජිතයෝ මෙසේ විරෝධය පළ කරනු ලැබීය. නෙතන්යාහු අගමැතිවරයාගේ කතාව ආරම්භයේ දී සභාව දැඩි විරෝධාත්මක ඝෝෂාවකින් පිරී පැවති අතර එය සන්සුන් කිරීමට මෙහෙයවන්නාට බලවත් වෙහෙසක් දැරීමට සිදු විය.
මෙම කතාව සිදුවන අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත දහස් සංඛ්‍යාත පිරිසක් නෙතන්යාහුට එරෙහිව දැවැන්ත විරෝධතාවල නිරත වූ අතර, එහිදී විරෝධතාකරුවන් 100කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන පරිදි රටවල් 77ක නියෝජිතයන් ඊශ්‍රායෙල් අගමැතිවරයාගේ කතාව සිදුවන අවස්ථාවේ සභා ගර්භයේ සිට නැත. රටවල් 50ක නියෝජිතයන් 100ක් පමණ මෙම සැලසුම්සහගත පිටව යාමට ඍජුව දායක වී තිබේ.
ශ්‍රී ලංකාවේ අසුන ද මෙම අවස්ථාවේ හිස්ව පැවති බව මාධ්‍ය වාර්තා පළව තිබු අතර එය ඍජු විරෝධය දැක්වීමක්දැයි මෙතෙක් තහවුරු වී නැත.





