ප්ලාස්ටික් දූෂණය අවම කරමින් තිරසාර පාරිසරික පද්ධතියක් ගොඩනැඟීමේ අරමුණින් සංවිධානය කරනු ලබන “ප්ලාස්ටික්, නවෝත්පාදන සහ පරිසර තිරසාරභාවය පිළිබඳ තෙවන ජාත්‍යන්තර සමුළුව” (ICPIES 2026) එළඹෙන සැප්තැම්බර් 30 සහ ඔක්තෝබර් 1 යන දිනවලදී කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරන මෙම සමුළුව භෞතික මෙන්ම මාර්ගගත (Hybrid) ක්‍රමවේදය ඔස්සේ ද්විත්ව මාධ්‍යයෙන්ම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
“පාරිසරික පද්ධතිවල ස්ථාවරත්වය සහ සමාජ යහපැවැත්ම උදෙසා පරිසර හිතකාමී නවෝත්පාදන” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගි වීමට නියමිත ය. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය, චක්‍රීය ආර්ථික ප්‍රවේශයන් සහ අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම වෙනුවෙන් ලොව පුරා සිටින පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතව සිටිති.
මෙම සමුළුව ප්‍රධාන පර්යේෂණ අංශ (Tracks) හතක් යටතේ ක්‍රියාත්මක වන අතර, ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් සිදුවන බලපෑම, කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් පරිසරය නිරීක්ෂණය කිරීම සහ ප්ලාස්ටික්වලින් තොර සමාජයක් වෙනුවෙන් ප්‍රජාව දැනුවත් කිරීම වැනි පුළුල් පරාසයක විහිදුණු මාතෘකා මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරේ. මෙහිදී ඉදිරිපත් කෙරෙන විශිෂ්ටතම පර්යේෂණ පත්‍රිකා සඳහා විශේෂ සම්මාන පිරිනමන අතර, තෝරාගත් පත්‍රිකා ජාත්‍යන්තර දර්ශකගත (Indexed) සඟරාවල ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය.
මෙවර සමුළුවේ ප්ලැටිනම් අනුග්‍රාහකයා සහ නිල බැංකු හවුල්කරු ලෙස කොමර්ෂල් බැංකුව කටයුතු කරන අතර, රන් අනුග්‍රාහකයා ලෙස INCEE ආයතනය දායකත්වය සපයයි. මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සහ නකල්ස් ව්‍යාපෘතිය (Knuckles Project) ඇතුළු ආයතන රැසක් මේ සඳහා තාක්ෂණික හා ජෛව විවිධත්ව හවුල්කරුවන් ලෙස අත්වැල් බැඳගෙන සිටිති.
සමුළුවේ සබැඳි ඉදිරිපත් කරන්නන්ගේ සහ සාමාන්‍ය ලියාපදිංචි කටයුතු අද (සැප්තැම්බර් 25) දිනෙන් අවසන් වන බැවින්, උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට icpies.ou.ac.lk නිල වෙබ් අඩවිය හෝ icpies@ou.ac.lk විද්‍යුත් තැපෑල ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැක.





