වයස අවුරුදු 11න් පහළ ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාවේ තාවි සමරවීර ජාත්‍යන්තර තරඟාවලි ද්විත්වයකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් සිය යුරෝපා තරඟ සංචාරය නිමා කර අද (18) උදෑසන දිවයිනට පැමිණියේය.
ලෝක ශ්‍රේණිගත කිරීම් තරඟාවලි 3ක් ඉලක්ක කරගනිමින් පැවැති මෙම සංචාරයේදී තාවි සමරවීර ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසය අලුත් කරමින් සුවිශේෂී දක්ෂතා රැසක් ප්‍රදර්ශනය කිරීමට සමත්ව තිබේ.
ඔහු මේ වන විට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් පසුවෙයි.
කොසෝවෝ රාජ්‍යයේ ප්‍රිස්ටිනා හි මැයි මස 22 වනදා සිට 25 වෙනිදා දක්වා පැවැති තරඟාවලියේ දී, ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩකයෙක ලෙස ප්‍රථම වතාවට වයස අවුරුදු 11න් පහළ සහ 13න් පහළ යන වයස් කාණ්ඩ දෙකෙහිම අවසාන මහා තරඟ සඳහා සුදුසුකම් ලැබීමට තාවි සමත් වූ අතර එහිදී ඔහු 11න් පහළ අංශයෙන් රන් පදක්කම සහ 13න් පහළ අංශයෙන් රිදී පදක්කම දිනා ගත්තේය.
නෝර්වේ රාජ්‍යයේ සැන්ඩිෆියුට් හි මැයි 30 වෙනිදා සිට ජුනි 02 වෙනිදා දක්වා පැවැති තරඟාවලියේදී වයස අවුරුදු 13න් පහළ අංශයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට තාවි සමත් වූ අතර තමන්ට වඩා වයසින් වැඩි ක්‍රීඩකයන් තරඟ වැදුණු 15න් පහළ අංශයේ “හොඳම ක්‍රීඩකයන් 08 දෙනා” අතරට පැමිණීමට ද හැකියාව ලැබී ඇත.
ලෝක ශ්‍රේණිගත කිරීම්වල 11න් පහළ අංශයේ පෙරමුණේ පසුවන තාවි සමරවීර දකුණු ආසියානු කලාපයේ වයස අවුරුදු 11න් පහළ සහ 13න් පහළ යන අංශ දෙකෙහිම ඉදිරියෙන්ම පසුවෙයි.






