/ Mar 22, 2025

අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ඇණහිටී – රෝගීන්ගේ ජීවිත අනතුරේ

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 5න් 3ක් ම බිඳවැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

ඒ හේතුවෙන් දෛනිකව රෝගීන් 250කගේ පමණ විකිරණ ප්‍රතිකාර කටයුතු ඇණහිටී ඇති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

එම යන්ත්‍ර දැනට දින 05කට පමණ පෙර සිට බිඳවැටී ඇති බවත් පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ආරම්භ කළ පසු අතරමඟදී විකිරණ ප්‍රතිකාර ඇනහිටීම මගින් එම පිළිකා තත්ත්වය වර්ධනය වීමට වුවද හැකියාවක් පවතින බව ද ඔහු පෙන්වාදෙයි.

මෙම යන්ත්‍ර නඩත්තු කිරීම් සඳහා ගිවිසුම්ගත වීමේ දී යන්ත්‍ර ක්‍රියා විරහිත වී දින 03ක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කොන්දේසි පනවා ඇති බව සඳහන්.

එසේ කිරීමට අපොහොසත් වුවහොත් අදාළ සමාගමෙන් ගිවිසුම්ගත මුදලින් දිනකට 1% අධි භාරයක් අය කිරීමට ද අදාළ ගිවිසුම්වල ප්‍රතිපාදන පවතින බවත් එහෙත් පසුගිය කාලවලදී අදාළ සේවා සමාගම්වලින් එසේ අධිභාර අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන තෙක් ක්‍රියා කර නොමැති බවත් එම සංගමයේ සභාපතිවරයා පවසයි.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන්නේ රජයේ රෝහල් පද්ධතිය තුළ පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතා කරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 10ක් ස්ථාපනය කර ඇති නමුත් මෙම යන්ත්‍ර දහයෙන් යන්ත්‍ර කිහිපයක් නිරන්තරයෙන් බිඳවැටීම ලක් වන බවයි.

එම යන්ත්‍ර නැවත යථා තත්ත්වයට පත් කිරීමට දීර්ඝ කාලයක් ගතවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස‍ එම සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top