අල්ලස් හෝ දුෂණ චෝදනා විඅම්ර්ෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරින ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ද රෝගී තත්ත්වයන් කිහිපයකින් පීඩා විදින බව අද (31)කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා හමුවේ හෙළිවිය.
හිටපු අමාත්‍ය රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවාගත් නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයේ නොයොදවා සිය පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතර ඊට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය. .
එවක ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරිය ලෙස කටයුතු කළ ශ්‍යාමිලා පෙරේරා ද එම චෝදනාවට අදාළව පසුගිය ජුනි මස 30 වනදා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් ඇපමත මුදාහැර සිටියි.
මෙම විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු අමාත්‍ය රවී කරුණානායකව අවස්ථා 02කදී අල්ලස් කොමිසමට කැඳවා තිබුණද, ඔහු ඒ සඳහා නොපැමිණි අතර පසුගිය 29 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් මන්ත්‍රීවරයා සොයා බත්තරමුල්ලේ ඔහුගේ නිවසට ගියද ඔහු එදිනද නිවසේ සිට නැත.
කෙසේවෙතත් විමර්ශනයට අදාළව ප්‍රකාශය ලබාදීම සඳහා හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණ තිබුණි.
පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අල්ලස් කොමිසමේ නිලධාරීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව ඔහුව කොළඹ අංක 02 අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන හමුවට ඉදිරිපත් කර ඇත.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් විමර්ශන නිලධාරිනියක් කරුණු ඉදිරිපත් කර තිබුණි.
” ස්වාමිනි, මෙම සැකකරු මුදල් අමාත්‍යවරයා ලෙස සිටියදී ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදලින් වැටුප් ගෙවීමේ පදනමින් මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් යැයි සඳහන් කොට සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙක් සහ කළමනාකරණ සහකාරවරයෙක් බඳවාගැනීමක් සිදුව තිබෙනවා. පත්වීම් ලැබූ එක් අයෙක් එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලීනව ප්‍රාදේශීය දේශපාලනය කරලා, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අයෙක්. ඒ වගේම තවත් අයෙක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සේවය කළ තැනැත්තෙක්. ඔවුන්ට ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදලින් වැටුප් ගෙව්වාට එම ආයතනයට කිසිඳු සේවයක් ලබාගෙන නැහැ. ඔවුන් මේ සැකකරුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනියුක්ත කරලා දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යොදවා තිබෙනවා. මෙහිදී රජයට සිදුවී ඇති පාඩුව ලක්ෂ 37කට අධිකයි. එබැවින් දූෂණය නැමැති වරදට කුමන්ත්‍රණය කිරීම සහ අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගත්තා.”
එසේම රවී කරුණානායක මන්ත්‍රීවරයා විමර්ශනයට සහාය නොදැක්වූ බවත් ඇය පවසා තිබේ.
“ස්වාමිනි, මේ සැකකරුට විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදෙන්න අවස්ථා 04කදී කැඳවීම්කර තිබුණත්, ඔහු පෙනී සිටියේ නැහැ. දියණියගේ විවාහ මංගල්‍යය උත්සවයකට නුවරඑළියේ යන බව කීවත්, ඔහු සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක. දිගින් දිගටම මෙම සැකකරු අල්ලස් කොමිසම මඟහරිනවා. ඒ වගේම සැකකරු සොයන්න අපි 29 වනදා ඔහුගේ නිවසට ගිහින් ආපුවාම අනෙක් පසට පළමු සැකකාරියත් ඔහුගේ නිවසට යනවා. මොවුන් දෙදෙනාම එකතුවෙලා සාක්ෂිකරුවන්ට සහ විමර්ශනයට බලපෑම් කරමින් ඉන්නවා. එබැවින් මේ සැකකරුට ඇප ලබා නොදී මොහු රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියා අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”
අනතුරුව සැකකාර රවී කරුණානායක මහතා වෙනුවෙන් නීතිඥ අශෝක වීරසූරිය කරුණු ඉදිරිපත් කා ඇත.
ඔහු පවසා තිබුණේ, ” ස්වාමිනි මේ නඩුවේ ප්‍රධාන සැකකාරියට මේ වෙද්දිත් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා. අල්ලස් කොමිසමෙන් පළමුවෙන්ම කැඳවූ ජුනි 14 වෙනිදා ඔහු එහි පෙනී නොසිටියේ රජයේ මුදල් කාරක සභාවට සහභාගිවීම නිසා. ඉන් පසු අපි පැහැදිලිව ජුනි 27 වනදා අල්ලස් කොමිසමට ලිපියක් යොමු කළා දියණියගේ විවාහ මංගල්‍යය තිබෙනවා එබැවින් සැප්තැම්බර් 01 වනදාට පසු දිනයක් ලබාදෙන්න කියලා. එහෙම තියෙද්දියි මොවුන් 29 වෙනිදා දින දී තිබුණේ. පසුගිය 29 වනදා මොහුගේ දෙවන දියණියගේ Homecoming එක පැවැත්වුණා. පළමුවෙන් නුවරඑළියේ එම සාදය පැවැත්වීමට නියමිතව තිබුණත්, පසුව දේශගුණික හේතු නිසා එය හම්බන්තොට හෝටලයක පැවැත්වුණා. “
” ස්වාමිනි මගේ සේවාදායකයාගේ සෞඛ්‍යය තත්ත්වය ගැන විශේෂයෙන් සඳහන් කරනවානම් මේ වෙද්දිත් මොහුගේ හෘදයට Stent 05ක් දමා තිබෙනවා. තවත් Stent එකක් දැමීමේ 70%ක – 99%ක ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ වගේම මොහු 2014 වසරේ සිට Sleep Apnea රෝගී තත්ත්වයෙන් පීඩා විදිනවා. ඊට අදාළ උපකරණය නොමැතිව නිදාගත්තොත් රාත්‍රියේදී මොහුට හෘදයාබාධයක් හෝ පෙණහලු ආශ්‍රිත ආබාධයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මොහුට Cellulitis කියන දුර්ලභ මාරාන්තික බැක්ටීරියා ආසාදනය තිබෙනවා. එබැවින් මොහු පරිසර ආසාදනයන්ට ගොදුරුවිය හැකි ස්ථානවල රැඳී සිටීමත් සුදුසු නැහැ. ඒ වගේම මොහුට පාලනය කළ නොහැකි දියවැඩියා රෝගී තත්ත්වයක් තිබෙනවා. මොහුට තිබෙන මේ සියලුම රෝග පිළිබඳ සිංගප්පූරුව මවුන්ට් එළිසබෙත් රෝහලෙන් ඉදිරිපත් කළ වාර්තාවක් මා අධිකරණයට ඉදිරිපත් කරනවා. “
එමෙන්ම මෙහිදි නීතිඥවරයා රවී කරුණානායක මහතා රෝගාබාධ සඳහා දිනපතා ලබාගන්නා බෙහෙත් යැයි පවසමින් විශාල ප්‍රමාණයේ වෛද්‍ය වට්ටෝරුවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව නීතිඥවරයා ඉල්ලා සිටියේ ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයා ඇපමත මුදාහරින ලෙසයි.
ඒ අනුව දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන සැකකාර රවී කරුණානායක රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කළ අතර විදේශ ගමන් තහනමක් ද පැනවීය.
යළි එම නඩුව නොවැම්බර් 03 වනදා කැඳවීමට නියමිතයි.





